Friday, May 10, 2024

General line - 0115112241

පණුවන් ආහාරයට ගෙන දින 31ක් ජීවත් වූ අයෙක් ඇමසන් වනයෙන් හමුවෙයි




පණුවන්, කෘමීන් වැනි කුඩා සතුන් ආහාරයට ගනිමින් දින 31ක් ඇමසන් වනාන්තරයේ ජීවත් වූ පුද්ගලයෙකු නිරුපද්‍රිතව බේරාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 30 හැවිරිදි බොලිවියානු ජාතිකයෙකු වන ඔහු නමින් ජොනතන් ඇකොස්ටා.

ජොනතන් සිය මිතුරන් 4 දෙනෙකු සමඟ ඇමසන් වනාන්තරයේ දඩයමේ ගොස් ඇති අතර එහිදී ඔහු අතරමංව තිබුණා. ඔහුව සෙවීමට උත්සහ දැරුවද එය සාර්ථක වූයේ නැහැ. මිතුරන් සහ ප්‍රදේශවාසීන් එක්ව මාසයකට අධික කාලයක් ඇමසන් වනය පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී අවසානයේ ජොනතන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වී තිබුණා. 

සිය අත්දැකීම් විස්තර කරන ඔහු පවසා තිබුණේ තම පාවහන් තුළ එක් රැස් කරගත් වැසි ජලය පානය කළ බවයි. එමෙන්ම තමන්ට ආහාරයට ගැනීමට සොයා ගත හැකි වූයේ පණුවන් සහ කෘමීන් පමණක් බවත් ඔහු පවසා තිබෙනවා.

තමන් සතුව පිහියක් හෝ විදුලි පන්දමක් හෝ නොතිබූ බවයි ජොනතන් පවසා ඇත්තේ. දින 31කින් පසු ජොනතන් සොයා ගන්නා විට ඔහුගේ බර කිලෝ 17කින් අඩු වී තිබුණා. එමෙන්ම, ඔහු විජලනයෙන් පසු වූ බවයි ඔහු සොයා ගත් පිරිස් පැවසුවේ. 

මෙතරම් කාලයක් ඇමසන් වනය තුළ නිසි ආහාර පවා නොමැතිව අතරමංව සිටි පුද්ගලයෙකු බේරා ගැනීම ආශ්චර්යක් බව බොහෝ දෙනාගේ අදහසයි.