Sunday, May 5, 2024

General line - 0115112241

කුරුළු උණ ආසාදිත කතක් චීනයෙන් හමුවෙයි - වෛරසයේ විකෘති භාවය ගැන විද්‍යාඥයින් අවදානයෙන් 




නැගෙනහිර චීනයේ කාන්තාවක් H5N1 කුරුළු උණ වෛරස ආසාදනය වී තිබෙන බව තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

චීනයේ කාන්තාකට කුරුළු උණ වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ කාම්බෝජයේ දැරියක් එම වෛරසයෙන් මියගොස් සතියකට පසුව වීම විශේෂත්වයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කුරුළු උණ වෛරසය ආසාදනය වී ඇත්තේ  නැගෙනහිර චීනයේ ජියැන්ග්සු පළාතේ වෙසෙන 53 හැවිරිදි කාන්තාවකට බවයි.

එම කාන්තාව කුකුළු මස්වලට නිරාවරණය වීමෙන් පසු ජනවාරි 31 වන දින කුරුළු රෝග ලක්ෂණ මතුවීමෙන් පසු පසුගිය පෙබරවාරි මාසයේදී වෛරසය තහවුරු වී තිබේ.

මෙලෙස වෛරසය ආසාදිත වූ කාන්තාවගේ වත්මන් තත්ත්වය නිසි තොරතුරක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර කාම්බෝජයෙන් කුරුළු උණ ආසාදිතව මිය ගිය දැරිය සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයේදී හෙළිවී ඇත්තේ එම වෛරසය මිනිස්‌ සෛල හොදින් ආසාදනය කිරීමට තරම් පරිණාමය වී ඇති බවයි. එය කණගාටුදායක මෙන්ම ඉතා සැලකිලිමත්විය යුතු කරුණක් බවයි විද්‍යාඥයින් පවසන්නේ.

මෙම H5N1 කුරුළු උණ වෛරසය මේවන විටත් විකෘති භාවයට ලක්වෙමින් පවතින බවට වන ඇඟවීම් දැනටමත් පෙන්නුම් කරමින් සිටින බවයි විද්‍යාඥයින් අනතුරු අඟවා සිටින්නේ.

කුරුළු උණ ආසාදිතව මියගිය දැරිය සම්බන්ධයෙන් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණය සිදුකළ වෛද්‍ය එරික් කාල්සන් සඳහන් කළේ කුරුල්ලන් ගෙන් ලබාගත් ජානවලට වඩා වෙනස් බවයි.

ඒ අනුව එම වෛරසය මිනිසුන් හරහා එම දැරියට ආසාදනය වන්නට ඇති බවට සැක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

H5N1 කුරුළු උණ වෛරසය මේවන විට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවත් එය මිනිසුන්ට සම්ප්‍රේෂණය වීම ඉතා අනතුරුදායක තත්ත්වයක් බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.