Saturday, May 18, 2024

General line - 0115112241

24 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර අද මහනුවරින් ඇරඹේ




24වන වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි තරඟයේ දෙවන අදියර අද පෙරවරුවේ ආරම්භ වනවා. පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය පිවිසුම අසලින් ආරම්භ වන එය අවසන් වන්නේ පොළොන්නරුවෙන්. තරඟකරුවන්ට අද දිනට හිමි දුර කිලෝමීටර් 146 යි දශම 7 ක්. 

කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසලින් ඊයේ ආරම්භ වූ තරඟයේ පළමු අදියර අවසන් වූයේ මහනුවරින්. පළමු අදියර අවසන් වන විට එහි ජයග්‍රාහකයා ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකා යුද හමුදාවේ තුෂාන් රාජපක්ෂයි.

දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදාවේ අවිෂ්ක මැඩොන්සා හිමිකරගත්තා. තුන්වන ස්ථානය හිමිකර ගැනීමට දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ක්‍රීඩා සමාජයේ සුරංග රණවීර සමත් වුණා. ඔහු පළමු අදියරේ කඳු ශූරයා ලෙසටද නම් කෙරුණා.

ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියර ඊයේ අවසන් වන විට හොඳම තරඟ නිමි කාලයක් සටහන් කළ පළමු ක්‍රීඩකයින් 10 දෙනා අතරට ඉන්දිය ක්‍රීඩකයින් දෙදෙනෙකු ද එක්ව සිටීම විශේෂත්වයක්. දිනය නිමා වන විට කණ්ඩායම් අතර පළමු ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවටත්, දෙවන ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවටත්, තුන්වන ස්ථානය දෙහිවල ගල්කිස්ස මහ නගරසභා කණ්ඩායමටත් හිමිවී තිබෙනවා.

සමස්ත තරඟයේ දුර ප්‍රමාණය කිලෝමීටර් 395යි දශම 4ක්. ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා නිල රේඩියෝව ලෙස නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.