Sunday, May 5, 2024

General line - 0115112241

රුසියා - යුක්‍රේන යුද්ධයෙන් G20 රටවල් ඇවිලෙයි




ලෝක ආර්ථිකයෙන් සියයට 85 ක් වන, ධනවත් රටවල් 19 ක් හා යුරෝපා සංගමය ඇතුලත් G20 සමුළුවේ ආරම්භක දිනයම උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ, යුක්‍රේන - රුසියා යුද්ධය සම්බන්ධයෙන් විවිධ රටවල් විවාදාත්මක අදහස් පළ කිරීමත් සමඟයි.

කෙසේවෙතත් සත්කාරකත්වය දරන ඉන්දියාවේ සැලසුම වී තිබුණේ සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපාන වෙනත් ප්‍රශ්ණ කෙරෙහි අවධානය යොමු කිරීමටයි. එහෙත් යුක්‍රේන - රුසියා යුද්ධය සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් පළවීමත් සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක් නොමැතිව එහි පළමු දිනය නිමාවූ බවයි ඉන්දියාව පවසා ඇත්තේ. 

සංවර්ධනය වෙමින් පවතින රටවල් ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරගැනීම සම්බන්ධයෙන් දැඩි උත්සාහයක පසුවනවා. දරාගත නොහැකි ණය අර්බුදයකට ද එම රටවල් මුහුණදී සිටිනවා.

සංවර්ධිත රටවල ක්‍රියකලාපය හේතුවෙන් ඇතිවන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රතිවිපාකවලට ද වැඩි වශයෙන් මුහුණ දෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල්. එවන් පසුබිමක එවැනි තීරණාත්මක ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට උත්සාහ දැරුව ද G20 සමුළුවේ බොහෝ රටවල අදහස් අතර පරතරය ඉතා වැඩි වූ බවයි ඉන්දිය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් පවසා ඇත්තේ.

G20 සමුළුවේ ආරම්භක දේශනය ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීම ද විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.