Tuesday, May 7, 2024

General line - 0115112241

මුජිබර් රහුමාන් පෙත්සම ඉල්ලා අස්කර ගනියි 




පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය විසින් සිදුකරනු ලබන බාධා කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සමගි ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාව සඳහා තරග වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

මෙම පෙත්සම අද විජිත් මළල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බව සඳහන් කළා. ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නා.

මුජිබර් රහුමාන් ගොනු කළ එම පෙත්සම තුළින් සඳහන් කර තිබුණේ රජය විසින් මූල්‍ය පහසුකම් සැපයීම, ඇතුළු විවිධ කාරණා හරහා පළාත් පාලන ඡන්ද විමසීමට සිදුකරන බාධා කිරීම් හේතුවෙන් නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබුණා.