Saturday, April 27, 2024

General line - 0115112241

ලන්ඩනයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ




ලන්ඩනයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට යොදවා තිබූ පොලිස් ආරක්ෂාව දැඩි කර තිබෙනවා. ඒ ඉන්දියාවට එරෙහි විරෝධතා පැවැත්වීම වැළැක්වීම සඳහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට දින කිහිපයකට ඉහතදී ලන්ඩනයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා. මේ අතර ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දියාවේ පිහිටි බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට යොදවා තිබූ පොලිස් මාර්ග බාධක ඉවත් කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යය මෙලෙස ලන්ඩනයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට යොදවා තිබූ ආරක්ෂාව තර කර ඇති බවයි.

ඉකුත්දා ලන්ඩනයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඛලිස්තාන් නම් ව්‍යාපාරයක ආධාරකරුවන් පිරිසක් විසින් විරෝධතාවක නිරත වුණා.

ඊට සහභාගී වූ ඇතැම් පිරිස් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ බැල්කනියට නැග ඉන්දීය ධජය ඇද දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිද්ධියෙන් අනතුරුව ඉන්දියාව බ්‍රිතාන්‍යයයේ සිටින ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කැඳවා කණස්සල්ල පළ කර තිබුණා. ඛලිස්තාන් යනු ඉන්දියාවේ සික් ජනතාව නියෝජනය කරන බව පැවසෙන කණ්ඩායමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.