Saturday, April 27, 2024

General line - 0115112241

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඩොලර් බිලියන 6යි දශම 2ක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම වැට උඩ




මෙරට මුහුදු සීමාවේදී මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් සිදුව ඇති හානියට අදාළ තක්සේරු කර ඇති අමෙරිකානු ඩොලර් බිලියන 6.2කට ආසන්න වන්දි මුදල ලබා ගැනීම සඳහා තවත් දින 57ක් තුළ නඩු පැවරීම් සිදු කළ යුතු වී තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සඳහා, නඩු පැවරිය යුත්තේ ශ්‍රී ලංකාවේද සිංගප්පූරුවේද යන්න මෙතෙක් තීරණය කර නොතිබීම කැපී පෙනෙන තත්ත්වයක්. ඒ සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවද සමෘද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් විමසා තිබෙනවා. 

එහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ අසේල රැකව පවසා ඇත්තේ එම වන්දි මුදල ලබා ගැනීම සඳහා නඩු පැවරීම මෙරට සිදු කළ යුතු බවට ඒ සඳහා පත්කළ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් තීරණය කර තිබූ බවයි. එහෙත් සිංගප්පූරුවේ නඩු පැවරීමට කැබිනට් අනුමැතියක් හිමිව ඇති බවත් ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ඒ සඳහා කටයුතු කරන බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

සිංගප්පූරුවේ නඩු පැවරීම හරහා ශ්‍රී ලංකාවට යම් අවාසියක් සිදු වූයේ නම් එහි වගකීම ගන්නේ කවුරුන්ද යන්න පිළිබඳ පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, එහිදී ප්‍රශ්න කර තිබෙනවා. අදාළ පාර්ශව සමඟ නැවත රැස් වී කරුණු සමාලෝචනය කිරීමටයි එහිදී වැඩිදුරටත් තීරණය වී ඇත්තේ.