Friday, March 29, 2024

General line - 0115112241

කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට 




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී දැන් පැවැත්වෙනවා. 

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව, පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පන්දුවාර 6ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් රැස් කර ගෙන සිටිනවා. 

ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක, චරිත් අසලංක, දසුන් ශානක හා වනිඳු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටිනවා. දෙරට අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරඟාවලියට තරඟ 03 ක් ඇතුලත්. 

ශ්‍රී ලංකාව මීට පෙර නවසීලන්තයේදී එක්දින තරඟාවලියක් ජයගෙන ඇත්තේ මීට වසර 22 කට පෙරයි. ඒ, 2001 වසරේදීයි. 

කෙසේවෙතත් 2019 ලෝක කුසලානයේ සිට මේ දක්වා නවසීලන්තය සහභාගිවූ එක්දින තරඟාවලි 10 න් 07 ක්ම ජයගෙන තිබීම විශේෂත්වයක්. 

එමෙන්ම අද තර`යේදී කලකට පසු එක්දින ක්‍රිකට් කණ්ඩායමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් තවත් ලකුණු 165 ක් රැස්කරගතහොත් ඔහුට එක්දින ලකුණු 6,000 සීමාව පසුකිරීමට හැකිවනවා. එසේ වුවහොත් එම කඩඉම පසුකර යන 09 වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ඔහු වනු ඇති.