Friday, April 19, 2024

General line - 0115112241

තහනමට ලක් වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ගැන ක්‍රීඩා ඇමති කතා කරයි




තහනමට ලක් වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය යළි ගොඩ නැගීම සඳහා කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින්  ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනමට ලක් කළේ බලය රැක ගැනීම සඳහා මෙරට හිටපු නිලධාරීන් අත්තනෝමතිකව කටයුතු කිරීම හේතුවෙන් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මෙරට පාපන්දු ක්‍රීඩාව නැංවීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ ඉතා සුහදව කටයුතු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා අපේක්ෂා කරනවා. රටට හා රටේ නීතියට ගැළපෙන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නියමයන්ද ඇතුළත්ව පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වැඩ කළ හැකි නව ව්‍යවස්ථාවක් හා මාර්ග සිතියමක් සකස් කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ක්‍රීඩකයින්ගේ හා පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ සියලු දෙනාට දූෂණයෙන් වංචාවෙන් තොර පාපන්දු පරිපාලනයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට උපරිමයෙන් කටයුතු කිරීම හා නායකත්වය දීමට තමන් ප්‍රමුඛ අමාත්‍යංශය කටයුතු කරන බවද ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වැඩිදුරටත් කියා සිටියා.