Sunday, May 5, 2024

General line - 0115112241

වාර්ෂිකව පරිභෝජනයට නොගෙන විනාශ වන එළවලු සහ පලතුරු ගැන අනාවරණයක් 




නිසි ප්‍රවාහන කටයුතු අනුගමනය නොකිරීම හේතුවෙන් වාර්ෂිකව එළවලුවලින් සියයට 19ක් හා පලතුරුවලින් සියයට 21ක් පාරිභෝජනයට ගත නොහැකිව විනාශ වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව වාර්ෂිකව එළවළු මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 21,955ක් පමණ හා පලතුරු මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 90,151ක් පමණ ප්‍රමාණයක් අහිමි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ආහාර සුරක්ෂිතතාවය පිලිබඳ විශ්ව විද්‍යාල කිහිපයක ආචාර්ය මහාචාර්යවරුන් සමග පැවැති සාකච්ඡාවකට එක් වෙමින් කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙම අදහස් පළ කළා. 

2011 වසරේදී මෙරට පිහිටුවන ලද ආහාර විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ආයතනයට සමගාමීව ශ්‍රී ලංකාවේ සියලු පහසුකම්වලින් සමන්විත ප්‍රථම ආහාර පර්යේෂණාගාරයක් ස්ථාපිත කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වුණා. 2016 වසරේදී මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුනත්, එම කාර්යය මෙතෙක්  ඉටු නොවීම නිසා නැවත අලුතින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය වී තිබෙනවා. 

රටතුළ විදිමත් ආහාර පර්යේෂණාගාරයක් නොමැතිවීම බරපතල අඩුපාඩුවක් බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ. ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවත්, ලබන අස්වනුවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් පසු අස්වනු හානිය හේතුවෙන් රටට අහිමි වනවා. 

2021 වසරේදී අප රටේ අපතේ ගිය ආහාර ප්‍රමාණය සළකා බැලූ විට එය තවත් පුද්ගලයින් මිලියන 10කට ආහාර සැපයීමට තරම් ප්‍රමාණවත් බවයි එම සාකච්ඡාවේ දී හෙළිවී ඇත්තේ.