Friday, April 26, 2024

General line - 0115112241

සඟවා තිබූ අධි බලැති යතුරුපැදි 8ක් පොලිසිය සොයා ගනී

බිමල් ශ්‍යාමන්




බොරලැස්ගමුව, විශ්ව විද්‍යාල පාරේ ආයතනයක්  තුළ රහසිගතව සඟවා තිබූ අධිබලැති යතුරුපැදි අටක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනියුක්ත ගල්කිස්ස කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායමට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. එම යතුරුපැදිවල වටිනාකම රුපියල් කෝටි හතක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයට ගත් යතුරු පැදි 6ක් සඳහා ලියාපදිංචි කළ ඒවා බවට හැඟවෙන ලිපි ලේඛන ඔහු විසින් ඉදිරිපත් කර ඇති අතර අනෙක් යතුරුපැදි දෙකට කිසිදු ලිපි ලේඛනයක් නොමැති බවත් පොලිසිය පැවසුවා. මෙම යතුරු පැදි කොටස් තීරුබදු රහිතව ව්‍යාජ ලෙස ආනයනය කර එකලස් කළ ඒවා බවට පොලිසිය සැක කරනවා. 

පොලිස් භාරයට ගත් යතුරු පැදි හා ව්‍යාපාරිකයා ඉදිරිපත් කළ ලිපි ලේඛන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සහ රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතයි.