Wednesday, May 8, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයත් සුඩානයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කර ගනී




රජයේ හමුදාව සහ නිල නොවන හමුදා කණ්ඩායම් අතර දරුණු ලෙස සටන් ඇවිලී තිබෙන සුඩානයේ සිටින බ්‍රිතාන්‍යය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් බ්‍රිතාන්‍යය රජය විසින් මුදාගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය පැවසුවේ එම රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ පවුල්වල සාමාජිකයින් ද ආරක්ෂිතව මුදා ගැනුණු බව බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂී සුනක් තහවුරු කළ බවයි.  

සංකීර්ණ හා වේගවත් මෙහෙයුමකින් අනතුරුව එම පිරිස මුදා ගැනුණු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. එමෙන්ම සුඩානය තුළ තවදුරටත් රැඳී සිටින බි්‍රතාන්‍ය පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව ද බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. 

මේ අතර අමෙරිකාව ද සුඩානයේ රැඳී සිටි සිය රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ආරක්ෂිතව මුදා ගනු ලැබුවා. අනතුරුව සුඩානයේ පිහිටි තානාපති කාර්යාලය වසා දැමූ බව ද අමෙරිකාව නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර තවත් රටවල් කිහිපයක්ම සුඩානයේ සිටින සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මුදා ගැනීමේ මෙහෙයුම් අද ආරම්භ කළා. ඉතාලිය, බෙල්ජියම, තුර්කිය, ඉන්දියාව, ජපානය සහ නෙදර්ලන්තය එම රටවල් අතර වනවා. සුඩානයේ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයෙන් පිටව ආ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැගත් රථපෙළක් වෙඩි ප්‍රහාරයක මැදිව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඒ හමුවේ එම රථ පෙළ යළි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැගෙන තානාපති කාර්යාලය වෙත ආපසු ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.