Wednesday, May 8, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයේ අතදැමීමෙන් සුඩාන සහන මෙහෙයුම් අර්බුදයක




ගැටුම් පවතින සුඩානයේ ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් ප්‍රමාද කළ බවට ජර්මනිය, බ්‍රිතාන්‍යට චෝදනා කරනවා. 

ජර්මනිය පවසන්නේ යුරෝපානු රටවල් කිහිපයක් ආරක්ෂිතව සිය පුරවැසියන් සුඩානයෙන් ඉවත් කරමින් සිටියදී බ්‍රිතාන්‍යයේ  අපරීක්ෂාකාරී ක්‍රියාකලාපය හමුවේ ඊට බාධා එල්ල වූ බවයි.

සුඩානයේ කාටුම් අගනුවර මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත රටවල් විසින් ඒ සඳහා සිය ගුවන් යානා භාවිතා කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සුඩාන රජය දැනුවත් කර අවසර ලබාගත යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රටවල් කිහිපයක් එම පටිපාටියට අනුව ක්‍රියාකරමින් සිටියදී බ්‍රිතාන්‍යය හමුදාවට අයත් ගුවන් යානයක් එරට පුරවැසියන් මුදා ගැනීම සඳහා සුඩාන හමුදාවේ අනුමැතියකින් තොරව කාටුම් අගනුවර වෙත ගොඩබස්වා තිබෙනවා. 

ඒ හමුවේ කෝපයට පත් සුඩාන හමුදාව අදාළ කලාපය තුළට ඇතුළුවිම තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇතැම් වාර්තා පැවසුවේ අවසරයකින් තොරව ගුවන් යානා ගොඩබැස්වීම හේතුවෙන් සුඩානයෙන් පිටවීමට පෙර බ්‍රිතාන්‍යය සුඩාන හමුදාවට ගෙවීම් කිරීමට සිදුවූ බවයි.

කෙසේවෙතත් ජර්මනිය එල්ල කරන චෝදනා බ්‍රිතාන්‍යය ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සිය මුදාගැනීමේ මෙහෙයුම්වලදී ජර්මනිය මේවනවිට පුද්ගලයින් 700 දෙනෙකු පමණ සුඩානයෙන් ආරක්ෂිතව ඉවත් කරගෙන තිබෙනවා.

ඒ අතරින් 200 දෙනෙකු ජර්මානු වැසියන් වන අතර අනෙක් පිරිස බ්‍රිතාන්‍යය ඇතුළුව තවත් රටවල් 30 කට අයත් පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.