Friday, April 26, 2024

General line - 0115112241

රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය දිග්ගැස්සෙයි - කැනඩාවට එරෙහිව ප්‍රතිචාර දක්වන බවට චීනයෙන් ප්‍රකාශයක්




සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු නෙරපා හැරීම සඳහා කැනඩාව ගත් තීරණයට දැඩිව ප්‍රතිචාර දක්වන බව චීනය අවධාරණය කරනවා. 

නිවේදනයක් නිකුත් කරමින් කැනඩාවේ චීන තානාපති කාර්යාලය පැවසුවේ කැනඩාවේ ක්‍රියාකලාපය තරයේ හෙළාදකින බව හා ඊට සිය විරෝධය පළ කරන බවයි.

අදාළ තීරණය හරහා කැනඩාව ජාත්‍යන්තර නීතිය මෙන්ම ජාත්‍යන්තර සබඳතා හා ද්විපාර්ශවික ගිවිසුම්වල මූලික න්‍යායන් උල්ලංඝණය කර ඇති බවයි චීනය පවසන්නේ. 

කැනඩාව හා චීනය අතර මෙම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හට ගත්තේ කැනඩාවේ සිටින සාඕ වෙයි නමැති චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු නෙරපා හැරීමට කැනඩාව තීරණය කිරීමත් සමගයි.

අදාළ නිලධාරියා, චීනයේ ප්‍රතිවිරුද්ධ මතධාරියෙකු වන කැනඩාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු හා හොංකොං හි සිටින ඔහුගේ පවුලේ සාමාජිකයින් බියගැන්වීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ වී ඇති බවටයි කැනඩාව චෝදනා කළේ.

රටේ අභ්‍යන්තර කටයුතු සඳහා සිදුකරන විදේශීය මැදිහත්වීම් කිසිසේත් නොඉවසන බව කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී සඳහන් කළා.

එමෙන්ම එවැනි ක්‍රියාවල නිරත වන ඕනෑම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු නෙරපා හරින බවට සිය රටේ සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට අනතුරු අගවා ඇතැයි කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍යවරිය අවධාරණය කර තිබෙනවා.