Friday, April 26, 2024

General line - 0115112241

පාකිස්ථානය ගිනි ගනියි - ඉම්රාන් ඛාන් අත්අඩංගුවට




පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද අත්අඩංගුවට ගැනුණා. ඒ, ඉස්ලාමාබාද් මහාධිකරණය ඉදිරිපිටදියි.
 
ආයුධ සන්නද්ධ කැරලි මර්ධන ඒකකයේ සාමාජිකයින් විශාල පිරිසක් විසින් හිටපු අග්‍රාමාත්‍යවරයා රැගෙන යන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉම්රාන් ඛාන්ට එරෙහිව ගොනු කර ඇති වංචා දූෂණ නඩුවකට පෙනී සිටීම සඳහා ඔහු අධිකරණයට පැමිණි අවස්ථාවේදී පකිස්තාන ආරක්ෂක අංශයේ කැරලි මර්ධන සාමාජිකයින් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ලාහෝර් සිට පැමිණී ඉම්රාන් ඛාන් අධිකරණ සංකීර්ණයට ඇතුළුවනවාත් සමගම ආයුධ සන්නද්ධ ආරක්ෂක අංශ සාමාජිකයින් රැසක් ඔහු වටකර ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරුව එම ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් ඔහුව සන්නද්ධ රථ පෙළක් තිබූ ස්ථානයකට රැගෙන යන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. ආරක්ෂක හිස් වැසුම් පැළඳ සිටි ආයුද සන්නද්ධව සිටි ඔවුන්ගෙන් ඇතැමෙකු සතුව බැටන් පොලු පවා තිබෙන අයුරු දක්නට ලැබුණා.

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්වාසභංගයක් මගින් ධූරයෙන් පහ කෙරුණේ ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදීයි.
 
ඉන් අනතුරුව ඔහුට එරෙහිව වත්මන් රජය විසින් චෝදනා 100 ක් පමණ ගොනු කරනු ලැබුවා. ඉම්රාන් ඛාන් පවසන්නේ තමන්ට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. එම චෝදනා දේශපාලන අවශ්‍යතාව මත ගොනු කර ඇති බවයි ඔහු පවසන්නේ.