Saturday, April 27, 2024

General line - 0115112241

නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් බිලියන 270 ක බදු ආදායමක් රටට අහිමිවේ




රජයට අයවිය යුතු රුපියල් බිලියන 950ක බදු මුදලින් අභියාචනා සහ විරෝධතා නොමැති රුපියල් බිලියන 270ක් පමණ බදු අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර නැතැයි අනාවරණ වී තිබෙනවා.

ඒ, ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ පැවති සාකච්ඡාවකදීයි.

අභියාචනා සඳහා ඇති ප්‍රතිපාදනය අවභාවිත කරමින් බදු ගෙවන්නන් බදු ගෙවීමෙන් වැළකී සිටින බවයි මෙහිදී හෙළිවී ඇත්තේ.

එවැනි අභියාචනා කටයුතු අවසන් වීමට වසර 2 ත් 7 ත් අතර කාලයක් ගත වන බැවින් මේ සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කළ යුතු බව කමිටුව පෙන්වාදී තිබෙනවා.

එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රංජිත් හපුආරච්චි පෙන්වාදී ඇත්තේ වෙනත් රටවල පවතින බදු සම්බන්ධ නඩු විභාග කිරීමට පවතින ආකාරයේ විශේෂ අධිකරණ පද්ධතියක් මෙරට පවතී නම් මෙම නීතිමය කටයුතු කඩිනමින් අවසන් කළ හැකි බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර බදු අභියාචනා කටයුතු සඳහා විශේෂ අධිකරණ පද්ධතියක් ඇති කිරීමට පියවර ගන්නා බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කර තිබෙනවා. 

මේ අතර, රට තුළ සිදුවන දැවැන්ත ගණුදෙනුවලට අදාළ දත්ත ලබාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳව ද ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කර තිබෙනවා. 

බදු ලිපිගොනු ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් අතුරෙන්, බදු ගෙවන ලිපිගොනු සංඛ්‍යාව පිළිබඳ කමිටුව මෙහිදී විමසා ඇතත් අදාළ තොරතුරු නිලධාරීන් සතුව නොමැතිවීම හේතුවෙන් කමිටුව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

බදු නොගෙවන විශාල වෙළෙඳ සමාගම් සහ ආනයනකරුවන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන්වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එහිදී හෙළිවී ඇත්තේ මේ පිළිබඳ නිවැරදි තොරතුරු දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි.