Saturday, April 27, 2024

General line - 0115112241

යුක්රේනයේ ගම්මාන 24 ක් ජලයෙන් යටවෙයි - 40,000 ක් ජීවිත අවධානමක




යුක්රේනයේ කර්සන් නගරයේ වේල්ලක් පුපුරා යාමෙන් ගම්මාන් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එලෙස ගම්මාන 24 ක් ගංවතුරෙන් යටවී ඇති බවයි.

17,000 ක පමණ පිරිසක් වාසස්ථාවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

රුසියානු පාලනය යටතේ පවතින කර්සන් නගරයේ ඩිනිප්‍රෝ ගංගාව හරහා ඉදිකර ඇති වේල්ලක් එලෙස පුපුරා ගියා.

ඒ සම්බන්ධයෙන් යුක්රේනය රුසියාවට චෝදනා කරන අතර එම චෝදනා ප්‍රතික්ෂේප කරන රුසියාව පවසන්නේ යුක්රේනය විසින් වේල්ල පුපුරුවා හැර ඇති බවයි. 

කෙසේවෙතත් තවත් 40,000 ක පමණ පිරිසක් ගංවතුරට ගොදුරු වීමේ අවධානමක සිටින බව හා ඔවුන් සිටින්නේ ජීවිත අවධානමක බවයි යුක්රේන බලධාරීන් පවසන්නේ.

බස් රථ සහ දුම්රිය මගින් ද මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන්.

යුද්ධයෙන් දිවි බේරා ගත් කර්සන් වැසියන් ගංවතුර හේතුවෙන් තවත් මානුෂීය ගැටළු රැසකට මුහුණ පා සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පිරිසිදු පානීය ජලය හා ආහාර ඒ අතරින් ප්‍රධානයි.

අමෙරිකාව හා බි්‍රතාන්‍ය ප්‍රමුඛ රුසියානු විරෝධී බටහිර හා යුරෝපා රටවල් රැසක් සිද්ධිය සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ල කරනවා.

ඔවුන් පවසන්නේ එය යුධ අපරාධයක් බවයි. කර්සන් හි පවතින තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද දැඩි අවධානය යොමු කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මෙම ප්‍රහාරය හැඳින්වූයේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ තවත් විනාශකාරී ප්‍රතිවිපාකයක් ලෙසයි.