Sunday, May 5, 2024

General line - 0115112241

දේවගැති ජෙරම් පෙත්සම ඉල්ලා අස්කරගනී

උදය කුමාර




දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඔහුගේ නීතිඥවරු විසින් අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් එම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එහිදී දේවගැති ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ නව පෙත්සමක් ගොනු කිරීමේ අයිතිවාසිකම රඳවා ගනිමින් ගොනු කර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.

මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම පිළිබඳව විරුද්ධ නොවන නමුත් නව පෙත්සමක් ගොනු කිරිම සඳහා කරනු ලබන ඉල්ලීමට දැඩි විරෝධය පළ කරන බව නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම සඳහන් කළා.    

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමටද තීන්දු කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.