Friday, May 10, 2024

General line - 0115112241

හඟුරන්කෙත කලහ කළ අය සොයා පොලිස් විමර්ශන




හඟුරන්කෙත පොලිස් ස්ථානය ඉදිරිපිටදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනිම සඳහා පොලිසිය විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ රාත්‍රී 9ට පමණ පුද්ගලයින් 200කට අධික පිරිසක් එම ස්ථානයට පැමිණ කලහකාරී ලෙස හැසිරුණු බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් එලෙස කලහකාරී ලෙස හැසිරී ඇත්තේ උඩවත්තකුඹුර ප්‍රදේශයේ සිදු වූ අපරාධයකට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බල කරමින්. 

හඟුරන්කෙත උඩවත්ත කුඹුර ප්‍රදේශයේ ඉකුත් 19වනදා ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් හටගත් ගැටුමකදී තරුණයෙකු බරපතල තුවාල ලැබූවා.

ඔහු මහනුවර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 25වනදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධියට අදාළ තවත් සැකකරුවන් 8 දෙනෙකු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීමටද විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත් එම සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසට බල කරමිනුයි හඟුරන්කෙත පොලිස් ස්ථානය ඉදිරිපිටදී අදාළ පිරිස විරෝධතාවයක යෙදෙමින් කලහකාරී ලෙස හැසිරී ඇත්තේ. 

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සහ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම සඳහා පොලිසිය විසින් වෙඩි ප්‍රහාර 38ක් අහස දෙසට යොමු කර තිබෙනවා.

ඉන් අනතුරුව කලහකාරී ලෙස හැසිරුණු පිරිස හඟුරන්කෙත පොලිස් ස්ථානය ආසන්නයෙන් පිටත් වී හඟුරන්කෙත , මහනුවර ප්‍රධාන මාර්ගයේ පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වී විසිර ගිය බවයි පොලිසිය පැවසුවේ. 

එම පිරිස හඟුරන්කෙත පොලිස් ස්ථානය ඉදිරිපිටදී කලහකාරී ලෙස හැසිරුණු ආකාරය දැක්වෙන වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ සහ නෙත් නිවුස් ෆේස්බුක් පිටුවේ ඇතුළත්.