Sunday, May 5, 2024

General line - 0115112241

පාලක පද්ධතියේ දෝෂයකින් බි්‍රතාන්‍යයේ ගුවන් මගීන් රැසක් අතරමග




බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් කටයුතු රැසකට තවදුරටත් බාධා එල්ල වි ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. 

එරට ගුවන් ගමන් පාලක පද්ධතියේ හටගත් දෝෂයක් ඊට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඒ අනුව, බ්‍රිතාන්‍යයෙන් පිටතට සිදු කරන ගුවන් ගමන් සහ බ්‍රිතාන්‍යය වෙත සිදු කරන ගුවන් ගමන් කටයුතුවලට බාධා එල්ල වී තිබුණා. 

ඒ හේතුවෙන් හීතෲ, ගැට්වික් සහ ලූටන් ගුවන් තොටුපළ හරහා ගුවන් ගමන් සිදු කිරීමට පැමිණි ගුවන් මගීන් දහස් ගණනකට සිය ගුවන් ගමන් කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 ගුවන් ගමන් පාලක පද්ධතියේ දෝෂය හඳුනාගෙන එය යථා තත්වයට පත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව බි්‍රතාන්‍ය ගුවන් ගමන් පාලක බලධාරීන් පවසනවා. 

එහෙත් ලන්ඩනයේ හීතෲ ගුවන් තොටුපළ පවසන්නේ අද දිනයේ සැලසුම් කර තිබූ ගුවන් ගමන් සඳහා තවදුරටත් බාධා එල්ල වී ඇති බවයි.

ගැට්වික් ගුවන් තොටුපළේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට එහි බලධාරීන් සැලසුම් කර තිබෙනවා. එහෙත්, ගුවන් තොටුපළට පැමිණීමට පෙර නියමිත ගුවන් යානය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නා ලෙස එම ගුවන් තොටුපළ මගීන්ට දැනුම් දී තිබුණා. 
 

එමෙන්ම, ලූටන් ගුවන් තොටුපළද ගුවන් ගමන් ප්‍රමාද විම සම්බන්ධයෙන් අද දිනයේද මගීන් දැනුවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.