Monday, April 29, 2024

General line - 0115112241

ගාසා යුධ ගැටුම් මධ්‍යයේ ලෙබනනයත් උණුසුම් (VIDEO)




හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර පවතින යුධ ගැටුම් සඳහා මේ වන විට අසල්වැසි රටවල්ද මැදිවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.        

ඒ අනුව ගාසා තීරය, ඊශ්‍රායලය, පලස්තීනය මෙන්ම ලෙබනනය ද මේ වන විට උණුසුම් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල හමුදාව අතර පවතින ගැටුම් උත්සන්නවීම ඊට ආසන්නතම හේතුවයි.

හමාස් සංවිධානය විසින් ඉකුත්දා ඊශ්‍රායලයට එල්ලකළ ප්‍රහාරයෙන් අනතුරුව පලස්තීනයේ සහ ලෙබනනයේ සිටින හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයේ ජෙරුසලමට සහ ටෙල් අවියු නුවරට ප්‍රහාර එල්ලකළා.

ඒ හමුවේ ඊශ්‍රායලය ද පලස්තීනය සහ ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකළ අතර එම ගැටුම් මේ වන විට තීව්‍ර වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන පරිදි ඊශ්‍රායලයට මායිම් වන ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ සිටින හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ලකරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ හමුවේ ඊශ්‍රායලය ද ලෙබනනයේ දකුණු දේශසීමාව වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ලකරමින් සිටින අතර එම ප්‍රහාර හමුවේ මේ වන විට පුද්ගලයින් දස දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ අතර සිවිල් වැසියන් දෙදෙනෙකු සහ ප්‍රමුඛපෙළේ විදේශීය මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකුද වනවා. හිස්බුල්ලා ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ ද දෙදෙනකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය එල්ලකරන ප්‍රහාර හමුවේ ලෙබනනයේ දකුණු දේශසීමාවට ආසන්න ගම්මානවල සිටින සිවිල් වැසියන් සිය වාසස්ථාන අතහැර පළාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම ගම්මාන මේ වන විට ජන ශුන්‍ය කළාප බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ලෙබනන් දේශ සීමාවේ පිහිටි ඊශ්‍රායල හමුදා මුරපොළවල ස්ථාපිත කර තිබූ නිරීක්ෂණ කැමරා පද්ධති කිහිපයක් විනාශ කළ බවයි හිස්බුල්ලා සංවිධානය අද පැවසුවේ.

මේ අතර හමාස් සටන්කාමීන් විසින් පැහැරගෙන ගොස් සිටින පුද්ගලයින් 200 දෙනෙකු පමණ තවදුරටත් අතුරුදන්ව සිටිනවා.

ඔවුන්ගෙන් කිහිපදෙනෙකු දැක්වෙන වීඩියෝවක් හමාස් සටන්කාමීෘන් ඉකුත්දා මුදා හැර තිබුණා.

ඒ අතර පැහැරගනු ලැබූ දරුවන් කිහිපදෙනෙකුද වනවා. එලෙස පැහැර ගැණුනු පුද්ගලයින් මුදා ගැනීම සඳහා ඊශ්‍රායලය දැඩි වෙහෙසක් දරන නමුත් හමාස් සංවිධානය විසින් ඔවුන්ව පොළොව යට තැනූ උමං මාර්ග තුළ සඟවා සිටින බවට විශ්වාස කෙරෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.