Saturday, April 27, 2024

General line - 0115112241

ගාසා වැසියන් ආධාර ගබඩා කොල්ලකයි




ආධාර සැපයුම් ලබා ගැනීම සඳහා ගාසා තීරයේ දහස් ගණනක් ජනයා ආධාර එක් රැස් කර තබා ඇති ගබඩාවලට කඩා වැදී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

පලස්තීනුවන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය පැවසුවේ පිටි සහ සබන් වැනි මූලික ද්‍රව්‍ය ගබඩා කර ඇති ගබඩා එලෙස කොල්ලකෑමට ලක්ව ඇති බවයි.

මෙම තත්ත්වය සිවිල් සාමය බිඳවැටීමේ ආරම්භයක ලකුණක් බවත් එය කණගාටුවට කරුණක් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවා.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි යුදමය ක්‍රියාමාර්ග තීව්‍ර කරමින් සිටියදීයි මේ බව වාර්තා වන්නේ.

ගාසා වැසියන් රැසක් ආහාර සහ ජල අර්බුධයකට මුහුණ පා සිටින අතර බොහෝ පිරිසක් මේවනවිටත් පානය කරන්නේ අපිරිසිදු ජලය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊජිප්තු දේශසීමාව හරහා ගාසා තීරයට ආධාර රැගත් ට්‍රක් රථ ඇතුළු වුව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ එලෙස පැමිණෙන ට්‍රක් රථ ප්‍රමාණවත් නොමැති බවයි.

ගාසා තීරයේ මිලියන 2යි දශම 4 ක ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් ගැටුම් හේතුවෙන් මේවනවිට අවතැන් වී තිබෙනවා.