Thursday, May 9, 2024

General line - 0115112241

ඔත්තු බැලුවා කියා බ්‍රිතාන්‍යයෙන් චීනයට දොස්.




චීනය වෙනුවෙන් ඔත්තු බැලීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට බ්‍රිතාන්‍ය පොලිසිය චෝදනා එල්ල කර තිබෙනවා.

එලෙ‍ස චෝදනාවට ලක්ව ඇත්තේ
පාලක කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රමුඛ පෙළේ නීති සම්පාදකයෙකු සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පර්යේෂකයෙකු ලෙස සේවය කර ඇති බවට වාර්තා වූ පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුටයි.

ඔවුන් අවුරුදු 32 සහ 29 හැවිරිදි වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නිල රහස් පනත උල්ලංඝනය කරමින් චීනයට අගතිගාමී තොරතුරු සැපයීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

සැකකරුවන්ට එල්ල වී ඇත්තේ ඉතා බරපතළ චෝදනා බැවින් ඒ පිළිබඳ සිදු කරන පරීක්ෂණ අතිශය සංකීර්ණ බව මෙට්‍රොපොලිටන් පොලිසියේ ත්‍රස්ත මර්දන විධානයේ ප්‍රධානී කමාන්ඩර් ඩොමිනික් පැවසුවා.

කෙසේවෙතත් බ්‍රිතාන්‍යයේ චීන තානාපති කාර්යාලය පැවසුවේ, චීනය බ්‍රිතාන්‍යයේ බුද්ධි තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කරන බවට එල්ල වන චෝදනාව සම්පූර්ණයෙන්ම ගොතන ලද එකක් බවයි.

ඒ සම්බන්ධයෙන් තරයේ විරෝධය පළ කරන  අතර චීන විරෝධී දේශපාලන ක්‍රියා නවත්වන ලෙසත් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය දැනුම් දී ඇත්තේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ චීනයේ ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් පිළිබඳව යුරෝපය පුරා දැඩි කණස්සල්ලක් සහ විරෝධයක් ඇති වී ඇති පසුබිමක් තුළයි