එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට ඉන්දියාව ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, නවසීලන්තය ලකුණු 70 කින් පරාජය කරමින්. ඉන්දියාව මෙලෙස ලෝක කුසලානයක අවසන් මහා තරඟයකට පිවිසියේ ඉතිහාසයේ සිව්වන වරටයි. එමෙන්ම ඉන්දියාව ලෝක කුසලානයක අවසන් මහා තරඟයට පිවිසියේ 2011 වසරෙන් පසු පළමු වරටයි.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඬුලු 4 ක් දැවී ලකුණු 397 ක් රැස් කළා. එය සැලකුනේ ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයක කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛයාව ලෙසයි. එහිදී විරාත් කෝලි එක්දින ක්‍රිකට් පිටියේ පනස්වන ශතකය වාර්තා කළ අතර එය ඉතිහාසයට එක් වුණේ එක්දින පිටියේ පිතිකරුවෙකු රැස්කළ වැඩිම ශතක සංඛ්‍යාවේ ලෝක වාර්තාව ලෙසටයි. එමෙන්ම විරාත් කෝලි මෙම තරඟාවලියේ මේ දක්වා ලකුණු 711 ක් රැස්කරගෙන ඇති අතර එය ලෝක කුසලානයක පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 327 ක් පමණයි. ඩැරල් මිචෙල් ලකුණු 134 ක් රැස්කළ අතර කේන් විලියම්සන් ලකුණු 69 ක් රැස්කළා. තුන්වන කඬුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ලකුණු 127 ක සබඳතාවක් ගොඩනගමින් නවසීලන්තයට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් ගෙන ආවා.
එහෙත් සෙසු පිතිකරුවන් අසාර්ථක වීමත් සමඟ නවසීලන්තයෙන් ජයග්‍රහණය ඉවතට ගියා. විශිෂ්ඨ පන්දුයැවීමක නිරතවූ මොහොමඩ් ශමී ලකුණු 57 කට කඬුලු 7 ක් බිද`හෙලුවා. එය සැලකුණේ ලෝක කුසලානයක අවසන් පූර්ව තරඟයකදී කඬුලු 7 ක් බිඳ හෙලූ පළමු අවස්ථාව ලෙසයි. එමෙන්ම බන්දිය පන්දුයවන්නෙකු එක්දින පිටියේ කඬුලු 7 ක් දවාගත් පළමු අවස්ථාව මෙය වනවා. මීට අමතරව එක්දින ලෝක කුසලානයක පන්දු යවන්නෙකු කඬුලු 7 ක් බිඳ හෙලූ පස්වන අවස්ථාව ලෙසටයි මෙය වාර්තා පොත් අතරට පිවිසුණේ.
මොහොමඩ් ශාමි මෙහිදී ලෝක වාර්තාවක් බිහිකළේ අඩුම තරඟ සංඛ්‍යාවකින් කඬුලු 50 ක් බිඳ හෙලූ පන්දු යවන්නා ලෙසයි. ඔහු කඬුලු 50 සීමාව පසුකර යන්නේ තරඟ 17 කදී වීම විශේෂත්වයක්. එමෙන්ම ලෝක කුසලානයක කඬුලු 5 කට වඩා වැඩි ගණනක් අවස්ථා 04 කදී බිඳ හෙලමින් එවැනි දස්කමක් දැක්වූ පළමුවැන්නා බවට ද ඔහු ඉතිහාසයට එක්වුණා. ඊයේ දැක්වූ දස්කමත් සමඟ මොහොමඩ් ශාමි මෙවර තරඟාවලියේ කඬුලු 23 ක් බිඳ හෙලමින් වැඩිම කඬුලු ලාභියා බවට පත්වනවා. ඉන්දිය පන්දුයවන්නෙකු ලෝක කුසලානයක බිඳ හෙලා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ද එයයි.
මේ අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ඔස්ටේ්රලියාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වෙනවා.