Sunday, November 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට පැමිණි ඉන්දීය ජාතිකයන් තිදෙනකු කටුනායක දී අත් අඩංගුවට

 ටී.කේ.ජී.කපිල




ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ඉන්දීය ජාතික තරුණියක ඇතුළු තවත් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන , ආපසු  පිටුවහල් කිරීම පියවර ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ ලේඛනයෙහි සදහන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඊයේ පස්වරුවේ පැන යාමට තත් කර ඇත්තේ.

ඇය 24 හැවිරිදි ගුජරාට් ප්‍රාන්තයේ , අහමදාබාද් නුවර පදිංචිකාරිනියක් වනවා.

ඊයේ පස්වරු 03.00 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට , ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබු අතර ඉන්පසු ඇය ශ්‍රී ලංකාවට ඇතුළු වීම සදහා වීසා බලපත්‍රය ලබා ගෙන , ඇයගේ ඉන්දීය ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි නිශ්කාශනය සදහා ආගමන කවුළුව වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

එහිදී ඇයගේ ඉන්දීය ජාතික ගමන් බලපත්‍රය , ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ සහ සොරකම් කරන ලද දත්ත ලේඛනයෙහි සදහන්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

පසුව ඇය මෙම ලියකියවිලි සමග ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කළ අතර , එහිදී ඔහු මෙම ඉන්දීය ගමන් බලපත්‍රය පිළිබඳ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු , ජාතික මධ්‍යම කාර්යාංශයෙන් විමසන ලද අතර එය එවැනි ගමන් බලපත්‍රයක් බව සනාථ වී තිබුණි .

ඉන්පසුව මෙම ඉන්දීය ජාතික තරුණිය , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කළ අතර , එහිදී මෙම තරුණිය හා සමාන රුවක් ඇති තරුණියක් ඉන්දියාවේ වාසය කරන බවත් , ඇයට කැනඩාවේ වීසා බලපත්‍රයක් ද හිමි බවත් , එහෙත් මේ වනවිට එම ගමන් බලපත්‍රය අස්ථාන ගත වී ඇති බවත් අනාවරණය වී තිබේ .

පසුව ඇයගෙන් මේ පිළිබඳ වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා ආගමන විගමන නිලධාරීන් සූදානම් වනවිට , ඇය ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොදන්නා බව පැවසීමත් සමග , හින්දි භාෂාව මනා ලෙස හැසිරවිය හැකි ආගමන විගමන නිලධාරීවරයෙකු කැදවා , ඉදිරි ප්‍රශ්න කිරීම් සිදු කර තිබේ .

එහිදී තමා සමග ඇයගේ පියා සහ තවත් පුද්ගලයෙකු ද පැමිණි බව පැවසූ අතර , ඔවුන් ඒ වනවිටත් ගුවන් තොටුපොළෙන් පළා යමින් සිටි අතර , ඔවුන් පසුපස ලුහුබැඳ ගිය ආගමන විගමන නිලධාරීන් , ඔවුන් දෙදෙනා ද අත් අඩංගුවට ගැනීම සමත් වී තිබුණි .

ඉන්පසුව ඇයගේ පියාගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී , මෙම තරුණියගේ සත්‍ය ගමන් බලපත්‍රය , එහි තිබී සොයා ගෙන ඇති අතර , අනෙක් පුද්ගලයා මේ ආකාරයට කූඨ ලේඛන සකස් කර , ඉන්දීය ජාතිකයන් කැනඩාව වෙත රැගෙන යන තැරැව්කරුවෙකු බවත් , ඔහු දැනට  කැනඩාවේ පදිංචිකරුවෙකු බවත් ආගමන විගමන සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබුණි .

ඒ අනුව මොවුන් තිදෙනාම , ඔවුන් පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයෙන් ඉන්දියාව වෙත පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණි .