Wednesday, October 23, 2024

General line - 0115112241

තියුණු සටනකින් ඕස්ට්‍රේලියාව අටවන වරටත් ලෝක කුසලානයක අවසන් තරඟයට.




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට ඔස්ටේ්‍රලියාව ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, දෙවන අවසන් පූර්ව තරඟයේදී දකුණු අප්‍රිකාව කඬුලු 03 කින් පරාජයට පත්කරමින්. 


තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාවට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 212 ක් පමණයි. ලකුණු 24 කට කඬුලු 4 ක් බිඳවැටී දැඩි අසීරු තත්ත්වයක සිටි දකුණු අප්‍රිකානු ඉනිම ගොඩගත්තේ ඩේවිඩ් මිලර්. ඔහු එක් අන්තයක් රැකගනිමින් පන්දු 116 කදී ලකුණු 101 ක් රැස් කළා. 


ලකුණු 213 පහසු ඉලක්කයක් ලෙස පෙනුන ද දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඔස්ටේ්‍රලියානු පිතිකරුවන්ට එය පහසුවෙන් හඹා යාමට ඉඩ ලබාදුන්නේ නැහැ. ඔස්ටේ්‍රලියානු ජයග්‍රහණයට මාවත විවර කළ ඩේවිඩ් වෝර්නර් සහ ට්‍රැවිස් හෙඩ් පළමු පන්දුවාර හයේදී ලකුණු 60 ක් රැස් කළා. කෙසේවෙතත් ඉන් පසුව එකපිට එක කඬුලු බිඳ වැටීමත් සමඟ ඔස්ටේ්‍රලියානු ඉනිම ද දැඩි අර්බුදයකට පත්වුණා. අවසන් මොහොත තෙක් උණුසුම් මුහුණුවරක් ගත් තරඟය අවසානයේ ඔස්ටේ්‍රලියාව ජයගත්තේ 48 වන පන්දුවාරයේදීයි. 


ඔස්ටේ්‍රලියානු කණ්ඩායම ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අවසන් මහා තරඟයකට පිවිසි අටවන අවස්ථාව මෙයයි. ඒ, 1975, 1987, 1996, 1999, 2003, 2007, 2015 සහ 2023 යන වසරවලයි.
මෙවර තරඟාවලියේ පළමු තරඟ දෙක පරාජයට පත්වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ දසවන ස්ථානයටම ඇදවැටුණු ඔස්ටේ්‍රලියාව, ශ්‍රී ලංකාව පරාජය කරමින් ඇරඹූ ජයග්‍රාහී ගමන ලෝක කුසලාන අවසන් මහා තරඟය තෙක්ම අඛණ්ඩව රැගෙන ඒම ක්‍රිකට් ක්‍රීඩා කරන සැමට ආදර්ශයක් වුණා.


එමෙන්ම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අවස්ථා 10 කට වැඩි සංඛ්‍යාවකදී ලකුණු 300 යේ සීමාව පසුකර ගොස් ලෝක වාර්තාවක් ද තැබූ දකුණු අප්‍රිකාව මෙම තීරණාත්මක තරඟයේදී මෙලෙස අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම ද විශේෂත්වයක්. 1992 වසරේ සිට වසර 5 කදී දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට පිවිස ඇතත් ඉන් කිසිදු අවස්තාවකදී අවසන් මහා තරඟයට පිවිසීමට ඔවුන්ට නොහැකි වුණා.