Wednesday, October 23, 2024

General line - 0115112241

ඉන්දියාවම හඩවමින් ඔස්ට්‍රේලියාව 06වන වරටත් එක්දින ක්‍රිකට් ලෝක ශූරයින් වෙයි




එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම තමන් බව යලි ඔප්පු කරමින් ඔස්ට්‍රේලියාව  06වන වරටත් එක්දින ලෝක ශූරතාවක් දිනා ගත්තා.

ඒ, ඊයේ රාත්‍රියේ පැවති 2023 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේදී සත්කාරක ඉන්දියාව කඩුලු 06කින් පරාජය කරමින්.


තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාවට නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 240ක් පමණයි.

තරග ආරම්භයට පෙරම ඉන්දීය පිල වාර්තා අතරට එක්වූයේ ලෝක කුසලාන තරගාවලියක එකම කණ්ඩායමක් වැඩිම තරග සංඛ්‍යාවකට එක් වූ පළමු අවස්ථාව ලෙසටයි.

ඉන්දියාව මෙවර තරගාවලියේදී කිසිදු වෙනස්කමකින් තොරව එකම කණ්ඩායමක් තරග 07කට ක්‍රීඩා කර තිබුණා. 
ඉන්දීය ඉනිම අරඹමින් වේගවත් ආරම්භයක් ලබා ගත් නායක රෝහිත් ෂර්මා පන්දු 31කදී ලකුණු 47ක් රැස් කලා.

ඔහු මෙවර තරගාවලියේ ලකුණු 581ක් රැස් කර ඇති අතර එය සැලකුණේ ලෝක කුසලාන ඉතිහාසයේ නායකයෙකු රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඔහුගේ දැවී යාමෙන් පසු පන්දුවාර 10ක් තුල ලකුණු 81කට කඩුළු 03ක් බිද වැටීමෙන් ඉන්දීය ඉනිම අඩාල වුණා. 


11 වන පන්දුවාරයේ සිට 40වන පන්දුවාරය දක්වා ඉන්දීය පිතිකරුවන්ට එල්ල කිරීමට හැකි වූයේ හතරේ පහර දෙකක් පමණයි. එය සැලකුණේ 2016 වසරෙන් පසු ලෝක කුසලානයක මෙවැන්නක් සිදුවූ පළමු අවස්ථාව ලෙසයි.


කෙසේ වෙතත් කඩා වැටුණු ඉනිම ශක්තිමත් කල විරාත් කෝලි ලකුණු 54ක් ද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කේ එල් රාහුල් ලකුණු 66ක් ලබා සිටියදී දැවී ගියා. පන්දු යැවීමේදී මිචෙල් ස්ටක් කඩුලු 03ක් බිද හෙලූ අතර පැට් කමින්ස් හා ජොස් හේස්ල්වුඩ් කඩුලු 02 බැගින් බිද හෙලුවා. 


මෙම තරගයේදී ඇඩම් සම්පා ද ක්‍රිකට් වාර්තාවක් සම කලා. ඒ, කඩුලු 23ක් දවා ගනිමින් ලෝක කුසලානයක වැඩිම කඩුලු දවාගත් දග පන්දු යවන්නා බවට පත්වෙමින් 2007 වසරේදී මුත්තයියා මුරලිදරන් බිහිකර තිබූ වාර්තාව සම කරමින්. 
ජයග්‍රාහී ලකුණු 241ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඔස්ටේ්‍රලියා කණ්ඩායමටද එම ඉලක්කය හඹා යාමට එතරම් පහසු වූයේ නැහැ. ඒ, ඔස්ටේ්‍රලියා ඉනිමේ කඩුලු 03ක් ලකුණු 47ක් තුල බිද වැටීමත් සමගයි.

කෙසේ වෙතත් ට්‍රැවිස් හෙඩ් හා මානස් ලබුෂේන් 04වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 192ක සබදතාවක් ගොඩ නැගුවා. හෙඩ් ලකුණු 137යි. ලබුෂේන් නොදැවී ලකුණු 58යි.

ට්‍රැවස් හෙඩ් මෙහිදී අරවින්ද ද සිල්වා සමග සම වූයේ එක්දින ලෝක කුසලානයක අවසන් මහා තරගයකදී හඹා ගොස් ජයගත් ඉනිමක ශතකයක් රැස් කල ලොව දෙවැනි පිතිකරු බවට පත්වෙමින්. ඔස්ටේ්‍රලියාව පන්දුවාර 41ක් තුල කඩුලු 04ක් පමණක් දැවී ලෝක කුසලානය සියතට ගත්තේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට රැස්ව සිටි එක්ලක්ෂ 30,000කට ආසන්න ක්‍රීඩාගාරයක් නිහඩ කරමින්.


මෙය සැලකෙන්නේ ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමක් ජාත්‍යන්තර පිටියේ ලබාගත් 20වන ලෝක කුසලානය ලෙසයි. ඔස්ටේ්‍රලියා පිරිමි කණ්ඩායම එක්දින ලෝක කුසලාන 06ක්, පන්දුවාර 20 ලෝක කුසලානයක් දිනාගෙන ඇති අතර කාන්තා කණ්ඩායම එක්දින හා පන්දුවාර 20 ලෝක ශූරතා 14ක් දිනාගෙන තිබෙනවා.


තරගයට පෙර අදහස් දැක්වූ ඔස්ටේ්‍රලියානු නායක පැට් කමින්ස් පැවසුවේ ඒක පාර්ශවීය ලක්ෂයකට අධික ප්‍රේක්ෂකාගාරයක් නිහඩ කිරීම තම අරමුණ බවයි. වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද එය ඔප්පු කල ඔහුගේ නායකත්වය යටතේ මේ වසරේදී ලෝක ටෙස්ට් ශූරතාවය ඔස්ටේ්‍රලියාව දිනා ගත්තේද ඉන්දියාවට එරෙහිව වීම විශේෂත්වයක්. එහිදීද ඔස්ටේ්‍රලියාවට ජය ගෙන දෙමින් ශතකයක් රැස් කලේ ට්‍රැවිස් හෙඩ් වීම තවත් කැපී පෙනන සිද්ධියක්.


ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක පූර්ණ සත්කාරකත්වය ඉන්දියාවට හිමි වූ පළමු අවස්ථාව මෙය වූ අතර තරගාවලිය අතරතුර ඉන්දියාවේ ඇතැම් ක්‍රියාකාරකම් දැඩි කථාබහටද ලක්වුණා.

කෙසේ වෙතත්, කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනාගේ පමණක් නොව ක්‍රීඩාංගණයට රැස්ව සිටි ලක්ෂයකට අධික ප්‍රේක්ෂකයින්ගේද, බිලියන එකයි දශම 05කට ආසන්න ඉන්දීය සමස්ත ජනගහනයේම දෑස් කදුලින් තෙත් කරමින් 2023 එක්දින ලෝක කුසලානයේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට ඉන්දියාවට සිදුවුණා.

තරඟාවලියේ වීරයා සම්මානය විරාත් කෝලි හිමි කර ගත්තා. තරඟය අතරතුරදී ඔස්ටේ්‍රලියා කණ්ඩායමේ ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණෙන අවස්ථාවේදී ක්‍රීඩා පිටියට පැමිණ සිටි ඉන්දිය ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් තරඟය අවසන් විමටත් පෙර ක්‍රීඩා පිටියෙන් පිටව ගියා.