Sunday, November 24, 2024

General line - 0115112241

19 න් පහළ ලෝක කුසලානයේ සත්කාරකත්වය අහිමි වීමෙන් ශ්‍රි ලංකාවට ආර්ථික පාඩු රැසක්




2024 පිරිමි අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කිරීමත් සමග ශ්‍රී ලංකාවට ලැබීමට තිබූ විශාල මුදලක් අහිමිවී ගොස් තිබෙනවා.

මෙම තරගාවලිය ලබන ජනවාරි 13වනදා සිට පෙබරවාරි 04වනදා දක්වා කොළඹ ක්‍රීඩාංගනවලදී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

එමෙන්ම තරගාවලිය සදහා කණ්ඩායම් 16ක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවුණා. 

ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන දින, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන ඇතුලු සියල්ල සැලසුම් කර අවසන්ව තිබූ අතර ඊට අදාල නිල තරග කාලසටහනද මේ වන විටත් ප්‍රකාශයට පත් කර තිබුණේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතියට යටත්වයි.

එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පැනවූ තහනම දීර්ඝ කිරීමත් සමග යොවුන් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම අහිමිවී ගියා. 

ඒ යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට තරගාවලි සත්කාරකත්වය වෙනුවෙන් ලබා දෙන මුදල සම්පූර්ණයෙන්ම අහිමි වී යනවා.

එපමණක් නොව, මෙම තිරණය මෙරට සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයටද දැඩිව බලපා තිබෙනවා.

යොවුන් ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වන ක්‍රිකට් කණ්ඩායම් 16 සමග එක් කණ්ඩායමකට සාමාජිකයින් 22ත් 25ත් අතර පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව සිටියා. 

ඔවුන් සති 03කට වැඩි කාලයක් කොළඹ ආශ්‍රිත හෝටල්වල රැදී සිටීමටයි නියමිතව තිබුණේ. වැඩිම අවධානයක් දිනූ තරග, විශේෂයෙන්ම ඉන්දු - පකිස්ථාන, ඉන්දු - ඕස්ට්‍රේලියාව වැනි තරග නැරඹීම සදහා සැලකිය යුතු සංචාරකයින් පිරිසක්ද මෙරටට පැමිනීමට නියමිතව සිටියා.

ඒ අතරින් ඉන්දීය සංචාරකයින් විශේෂයි. දැන් යොවුන් ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට ගෙන යාමත් සමග එම සියලු මුදල් ශ්‍රී ලංකාවට අහිමි වනවා.

නවතම තීරණය අනුව යොවුන් ලෝක කුසලානය දකුණු අප්‍රිකාවේ දී ජනවාරි 10 සිට පෙබරවාරි 10 දක්වා පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව දැන් මෙම තරගාවලියට එක්වන්නේ සත්කාරක රාජ්‍යය ලෙස නොව ක්‍රිකට් තහනමට පෙර අයි සී සී පූර්ණ සාමාජික රටක් ලෙසයි.

ඒ යටතේ 2022 වසරේ මේ සදහා සුදුස්සන් තේරූ අවස්ථාවේ ඉහලින්ම සිටි පූර්ණ සාමාජික රටවල් 11ක් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා තිබෙනවා. නැමීබියාව, නේපාලය, නවසීලන්තය, ස්කොට්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය ද සුදුසුකම් ලබා ගැනීමේ ඉසව් හරහා තරගාවලියට එක්වනවා. 

ICC අධ්‍යක්ෂ මණ්ඩලයේ ඒකමතික තීරණයක් අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට රජය විසින් කරන ලද පුළුල් මැදිහත්වීම් හේතුවෙන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තාවකාලිකව අත්හිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස යොවුන් ලෝක කුසලානයේ සත්කාරකත්වය අහිමි කල බවයි ICC මාධ්‍ය වාර්තාවේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට ඕනෑම ද්විපාර්ශ්වික, අයිසීසී සහ දේශීය තරඟාවලි ඇතුළුව සියලුම මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩා කිරීම සදහා මෙම අත්හිටුවීමෙන් බාධාවක් නොවන බවයි ICC පවසන්නේ. 

කෙසේ වෙතත්, දැනට පනවා ඇති ක්‍රිකට් අත්හිටුවීම ඉවත් කරන තෙක් ICC වාර්ෂික අරමුදල් ලබාදීම පාලනය වනු ඇති.

මේ අතර පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රීඩාවත්, ආණ්ඩුවත් අපහසුතාවයට පත්කිරීමේ ප්‍රතිඵලය ක්‍රීඩා අමාත්‍යවරයා මේ වන විට භුක්ති විදිමින් සිටින බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශකයෙකු වන සුදත් චන්ද්‍රසේකර පවසනවා.

ඔහු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අර්ජුණ රණතුංග ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් පසුගියදා පත්කළේ ක්‍රීඩා පනතේ වගන්තිද උල්ලංගනය කරමින් බවයි.

පසුගිය දිනවල පැවති මාධ්‍ය හමු කිහිපයකදිද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තමන්ව විවේචනය කිරීමද කණගාටුවන බවයි ඔහු වැඩිදුරටත් සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.