Sunday, November 24, 2024

General line - 0115112241

වනිඳුට බැංගලෝර් කණ්ඩායමේ ස්ථානය අහිමි වෙයි - මහීෂ් සහ මතීෂට චෙන්නායි කණ්ඩායමේ ස්ථානය තහවුරු වෙයි




2024 IPL තරඟාවලියට එක් වන කණ්ඩායම් ඔවුන් තවදුරටත් රඳවා ගන්නා ක්‍රීඩකයන් සහ ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදහස් කරන ක්‍රීඩකයන්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග තවදුරටත් එම කණ්ඩායමේ රඳවා නොගෙන නිදහස් කිරීමට එම කණ්ඩායම තිරණය කර තිබෙනවා.

2022 වසරේදී රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම විසින් වනිඳු හසරංගව ඉන්දියානු රුපියල් කෝටි 10කට මිලදී ගත් අතර ඔහු එම වසරේදී දෙවන වැඩිම කඩුලු ලාභියේ බවට පත් වුණේ IPL තරඟාවලියේදී කඩුලු 26ක් බිඳ හෙළමින්.

මේ අතර, පංජාප් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ භානුක රාජපක්ෂද එම කණ්ඩායමෙන් ඉවත් කර නිදහස් කර තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය වසරේ IPL ශූරතාවය දිනා ගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ තවදුරටත් එම කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

2024 IPL තරඟාවලියට අදාළ ක්‍රීඩා වෙන්දේසිය දෙසැම්බර් මස 19වනදා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.