Thursday, May 9, 2024

General line - 0115112241

ගෝලීය දේශගුණ විපර්යාස සැලසුම් අනතුරේ හෙළන චීනයේ ගල්අගුරු පරිභෝජනය




ගෝලීය වශයෙන් පිටකරනු ලබන හරිතාගාර වායු ප්‍රමාණය හෙවත් කාබන් විමෝචන ඉලක්ක සපුරාලීම සඳහා ගල්අඟුරු පරිභෝජනය අඩු කිරීම අත්‍යාවශ්‍ය වූවකි. නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික දේශගුණික විපර්යාස සමුළුව අතරතුර (COP28) මෙය විවාද සම්පන්න කතිකාවක් මතු කරනු ඇති අතර පැරිස් සම්මුතිය ප්‍රකාරව ඒ ඒ රාජ්‍යයන් කාබන් විමෝචනය අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයන් හි ප්‍රගතිය සලකා බලනු ඇත. චීනය දේශගුණික සාකච්ඡාවලට පෙර සිටම හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා පොරොන්දු වුව ද මෙවර සමුළුවට එක් වන්නේ සිය ගල්අඟුරු භාවිතය අවම කර ගැනීමටට අපොහොසත් වූ රාජ්‍යයක් ලෙසින් වීම මෙවර සමුළුවේ කැපී පෙනෙන පසුබෑමක් ලෙස ඉස්මතු වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.


වාර්තා වන ආකාරයට විමෝචනය අවම කර ගැනීම කෙසේවෙතත් ඔවුන් ගල්අඟුරු පුළුස්සා දැමීම තව තවත් වැඩි කර ඇත. ගෝලීය භාවිතයෙන් සියයට 50 කට වඩා වැඩි චීනය සැලකෙන්නේ ලොව විශාලතම ගල්අඟුරු පාරිභෝගිකයා ලෙසයි. විශේෂයෙන් දේශගුණික විද්‍යාඥයින් ගල්අඟුරු ඉවත් කිරීමේ උත්සාහය හත් ගුණයකින් වේගවත් කරමින් සිටින පසුබිමක ඊට එරෙහිව චීනය ෆොසිල ඉන්ධන මත යැපීම වැඩි කිරීම දේශගුණික ක්‍රියාවන්ට බෙහෙවින්ම අහිතකර තත්ත්වයක් උදා කර තිබේ.


චීනයේ ගල්අඟුරු මත වැඩෙන විශ්වාසය කාබන් විමෝචනයට සිදු කරන බලපෑම පිළිබඳ ඩුබායිහි මේ වන විට ආරම්භ වී තිබෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡාවලදී විවාදයට තුඩු දෙනු ඇත්තේ මේ හේතුවෙනි. මීට පෙර 2021 අප්‍රේල් මාසයේදී Glasgow හි පැවති දේශගුණික සාකච්ඡාවලදී චීන ජනාධිපති Shi Jin pin රට තුළ ගල්අඟුරු බලශක්ති උත්පාදන ව්‍යාපෘති “දැඩි ලෙස පාලනය කිරීමට” ප්‍රතිඥා දුන් නමුත් යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස් වන්නේ ගල්අඟුරු බලාගාර සංඛ්‍යාවේ සහ නිෂ්පාදන ධාරිතාවයේ තියුණු වැඩිවීමක් පෙන්නුම් කරන බැවිනි.


චීනය මේ වන විට ගිගාවොට්ස්(GW) 243 ක ධාරිතාවකින් යුත් නව ගල්අඟුරු තාප බලාගාර ඉදිකරමින් සිටියි. එය මුළු ජර්මනියම බල ගැන්වීමට ප්‍රමාණවත් තරම් විශාල බලශක්ති ව්‍යුහයකි.  ෆින්ලන්තය පදනම් කරගත් ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන Energy and Clean Air (CREA) පවසන පරිදි සැලසුම් කර ඇති ධාරිතාව වැඩිකිරීම ගිගාවොට්ස් 392 කි.මේ අනුව දැවැන්ත ගල්අඟුරු බලශක්ති උත්පාදනය මගින් චීනය දේශීය හා ගෝලීය විමෝචන ඉලක්ක නොතකා හැර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. සතියකට ගල් අඟුරු බලාගාර දෙකකට අවසර දීමේ පෙර රිද්මය පවත්වා ගනිමින් 2023 පළමු භාගයේදී  නව ගල්අඟුරු ගිගාවොට්ස් 52 ක් සඳහා අවසර ලබා දී ඇති බව ද එම වාර්තාව පෙන්වා දී ඇත.


Global Energy Monitor (GEM) පවසන පරිදි චීනයේ බලාගාර ඉදිකිරීම් ධාරිතාව 2021 සිට 2022 දක්වා සියයට 38 කින් වැඩි වී ඇත්තේ ලෝකයේ සෙසු රටවල එම ධාරිතාව සියයට 20 කින් අඩු වී ඇති පසුබිමකය. නව ගල් අඟුරු ව්‍යාපෘති ගොඩ නැගීම වළක්වා ගැනීමට ලෝකය උත්සාහ කරමින් සිටින අතරතුර චීනයේ නොනවත්නා භාවිතය බලශක්ති සංක්‍රාන්තිය සහ දේශගුණික බැඳීම් වඩාත් සංකීර්ණ හා මිල අධික කර ඇති බව GEM හි පර්යේෂණ විශ්ලේෂක Flora Champenois පවසා තිබේ.


"ගල් අඟුරු ධාරිතාව වැඩි කිරීමට දිගටම අවසර දීමෙන් එක්කෝ විමෝචන ක්‍රියාවලියේ දැවැන්ත වැඩි වීමක් සිදුවනු ඇත. නැතහොත් ශාක නිෂ්ක්‍රීයවී යාම හෝ බලශක්ති පද්ධතිය ගල් අඟුරු මත යැපීම ස්ථීර කිරීමට හේතු වනු ඇතැයි ඇය පවසයි. ගෝලීය වශයෙන් ගල්අඟුරු බලාගාර සංවර්ධනය පරිහානියට පත් වෙද්දී චීනය අඛණ්ඩව ඊට කැපී පෙනෙන ව්‍යතිරේකය බවට පත් වී ඇති ආකාරය මෙයින් පෙනී යයි.

ගල්අඟුරු පරිභෝජනය පිළිබඳ සිය නවතම වාර්තාවේ GEM, නව ගල්අඟුරු බලාගාර මගින් කාබන් විමෝචනය වැඩි කිරීමට තුඩු දී ඇති බවත් එය චීනයේ දේශගුණික වගකීම් අනතුරේ හෙළන බව පැහැදිලිව සඳහන් කර තිබේ. 


චීනයේ යෝජිත ගල්අඟුරු ව්‍යාප්තිය හේතුවෙන් පැරිස් දේශගුණික ඉලක්ක වෙන කවරදාටත් වඩා නොපැහැදිලි වෙමින් පවතින බව එම වාර්තාව තහවුරු කරයි. වසර 2015 දී අත්සන් තබන ලද පැරිස් සම්මුතිය අනුව ලොව රටවල් 197ක් කාබන් විමෝචනය අඩු කිරීමටත් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ට අඩුවෙන් පවත්වා ගැනීමටත් පොරොන්දු විය. මේ වන විට සමස්ත විමෝචනයෙන් සියයට 30 ක් චීනය සතු වන අතර එය එක්සත් ජනපදය, යුරෝපීය සංගමය සහ ඉන්දියාව ඒකාබද්ධ කළ ද ඊට වඩා වැඩි අගයකි.


බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා චීනය විශාල පරිමාණයෙන් රට තුළ ගල්අඟුරු කැණීම සිදු කරයි.  කෙසේ වෙතත් මෙය එහි දේශගුණික පොරොන්දු අනතුරේ හෙළා ඇත.  CREA හි ප්‍රධාන විශ්ලේෂක Lauri Myllyvirta පැවසුවේ "වාර්තා කරන ලද බලශක්ති පරිභෝජනය සහ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය වැඩි වීම 2025 සඳහා වන දේශගුණික ඉලක්කවලින් චීනය සැලකිය යුතු ලෙස පසු බැසීමට හේතු වී ඇති බවයි.
2015-2022 කාලය තුළ චීනයේ ඒක පුද්ගල විමෝචනය සියයට 30 කින් වැඩි වී ඇති අතර එය පසුගිය වසරේ සියයට 4.4 ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත.  ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට (IEA) අනුව, චීනයේ ගල්අඟුරු ඉල්ලුම 2022 දී ටොන් මිලියන 4,519 දක්වා 4.6% කින් ඉහළ ගොස් ඇති අතර එය 2023 දී සියයට 3.5 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අනුව ලෝකයේ ගල් අඟුරු භාවිතයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් චීනය දිගටම දරනු ඇති අතර බල ශක්ති අංශය පමණක් තුනෙන් එකක් පරිභෝජනය කරනු ඇති බව පැවසෙයි.   


පරිසරවේදීන් සහ දේශගුණ විශේෂඥයින් විසින් ගෝලීය කාබන් විමෝචනය අඩු කිරීමට ඇති ප්‍රධාන බාධාවක් ලෙස බීජිං ගල්අඟුරු මත යැපීමේ වර්ධනය ප්‍රධාන හේතුවක් ලෙස නිර්වචනය කර ඇත්තේ මෙවැනි පසුබිමකයි.  කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය Michael Davidson, දේශගුණික වගකීම්වලට වඩා බලශක්ති ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම සම්බන්ධයෙන් සෘජුව ඇඟිල්ල දිගු කරන්නේ ද චීනයටයි.චීනයේ මෙම ප්‍රතිපත්තිය “ගෝලීය දේශගුණික ප්‍රයත්නය තනි අතින් කඩාකප්පල් කිරීමක්" බව විද්වත් මතය වී තිබේ.