Thursday, May 9, 2024

General line - 0115112241

ඉන්දීය පාර්ලිමේන්තුවට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට




ඉන්දීය පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට අද බරපතල තර්ජනයක් එල්ල වුණා.

ඒ පුද්ගලයන් දෙදෙනකු ඉන්දියානු පාර්ලිමේන්තුවේ සභා ගර්භයට ඇතුළු වී කහ පැහැති දුමාරයක් සභාව පුරා පතුරුවා හැරීමත් සමගයි.

ඔවුන් එලෙස පාර්ලිමේන්තුවට ඇතුළු වී තිබුණේ 2001 වසරේ පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරයේදී ජීවිත පරිත්‍යාග කළ මිනිසුන්ගේ සංවත්සර සැමරුම අතරතුරදී වීම දැඩි කතාබහට ලක්වුණා.

කඩා වැදී තිබුණේ අමුත්තන්ගේ ගැලරියේ අසුන් ගෙන සිටි දෙදෙනෙක්.

ඔවුන් මේසයෙන් මේසයට පැන යන අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

පාර්ලිමේන්තුවට ඇතුළු වූ දෙදෙනාගේ අනන්‍යතාව තවමත් ආරක්ෂක අංශ විසින් අනාවරණය කර නොමැති බවයි වාර්තා වන්නේ.

සභාවේ කටයුතු මෙහෙයවමින් සිටි භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජේන්ද්‍ර අගර්වාල් කියා සිටියේ, අමුත්තන්ගේ ගැලරියෙන් එක් අයෙක් වැටෙනු තමා දුටු බවත්, ඒ සමඟම තවත් පුද්ගලයෙක් මේසය මතට කඩා වැදුණු බවයි.

මෙම සිද්ධිය හමුවේ ඉන්දීය පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් පවතින බවයි මන්ත්‍රීවරුන් පැවසුවේ.

අදාළ පුද්ගලයින් දෙදෙනාව ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන්ගේ අනන්‍යතාව සහ අරමුණ කුමක්ද යන්න සොයා විමර්ශනය සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම පුද්ගලයින් දෙදෙනා කිසියම් සංවිධානයකට සම්බන්ධ දැයි සොයා විමර්ශන ක්‍රියාත්මක බව ද පොලීසිය පැවසුවා.