Thursday, May 9, 2024

General line - 0115112241

චීනයට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන 118 ක් දක්වා ඉහළට - මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ශීත කාලගුණයෙන් බාධා




චීනයේ ගන්සු පළාතට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 118 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

භූ කම්පනයෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

භූ කම්පනයේ බලපෑම ගන්සු පළාතට ආසන්න කිංගයි පළාතට ද එල්ල වී තිබෙනවා.

ඒ අනුව භූ කම්පනයේ බලපෑම හේතුවෙන් එම පළාත තුළ පමණක් පුද්ගල මරණ 13 ක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

ඊයේ රාත්‍රියේ ගන්සු පළාතට බලපෑ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වන්නේ මැග්නිටියුඩ් ඒකක 6 යි දශම 2 ක් ලෙසයි.

එය වසර 13 කට පමණ පසුව චීනයට බලපෑ ප්‍රබලතම භූ කම්පනය බව ද වාර්තා වනවා. 

මේ අතර භූ කම්පනයේ බලපෑම එල්ල වූ ප්‍රදේශවලට මේවනවිට අධික ශීත කාලගුණයක බලපෑම් එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.

ඒ හමුවේ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ද බාධා එල්ල වී තිබෙනවා.

භූ කම්පනයේ බලපෑම් එල්ල වූ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය පවතින්නේ සෙල්සියස් අංශය 13 ක පමණ මට්ටමක බව විදෙස් මාධ්‍ය පැවසුවා. 

භූ කම්පනය හේතුවෙන් නිවාස 50,000 ක් පමණ විනාශ වී ඇතැයි ද සඳහන්.

ඇතැම් නගරබද ප්‍රදේශවල මාර්ග ද සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

එම ප්‍රදේශවල විදුලිය සහ ජල සැපයුම් ද බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ජනාධිපති ෂී ජින්පින්ගේ උපදෙස් අනුව රජය විසින් සහන කණ්ඩායම් යොදවා තිබෙනවා.

එම සහන මෙහෙයුම් සඳහා මුදා හැර ඇති මුදල යුවාන් මිලියන 200 ක්.