Thursday, May 9, 2024

General line - 0115112241

ඉන්දියාව, බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් රැසකින් නව කොවිඩ් ප්‍රභේදයක් - සීග්‍රයෙන් ව්‍යාප්තවීමේ අවදානමක්




නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

ජේ එන් වන් ලෙස හඳුන්වන මෙම නව ප්‍රභේදය “ඔමික්‍රෝන්” ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

එහි සීඝ්‍ර ව්‍යාපත්යි සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ වන විට දැඩි අවදානයකින් කටයුතු කරමින් සිටිනවා.

ජේ එන් වන් නව කොවිඩ් ප්‍රභේදය මේ වන විටත් රටවල් රැසකින් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අතරට ඉන්දියාව, චීනය, බ්‍රිතාන්‍යය හා අමෙරිකාව ද ඇතුලත්. උතුරු අර්ධගෝලයට අයත් රටවලින් උණ, ස්වසන අපහසුතා සහ ළමා නිව්මෝනියාව වැනි රෝග වැඩිවෙමින් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ.

අමෙරිකානු දත්තවලට අනුව එරට තුළ වේගයෙන් ම ව්‍යාපත් වන ප්‍රභේදයක් ලෙසට ජේ එන් වන් නව කොවිඩ් උප ප්‍රභේදය හඳුනාගෙන තිබෙනවා.

එරට තුළ වෛරස ආසාදනය සියයට 15 ත් 29 ත් අතර මට්ටමක පවතින බවයි අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ.

බ්‍රිතාන්‍යයේ  සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය ද පවසා ඇත්තේ රසායනාගාර පරීක්ෂනවලින් නව වෛරස ආසාදන ව්‍යාප්තිය සියයට 7 ක මට්ටමක පවතින බවට හෙළි කරගෙන ඇති බවයි.

කෙසේවෙතත් මෙම නව කොවිඩ් ප්‍රභේදයෙන් මහජනතාවට ඇති අවදානම දැනට පවතින්නේ අඩු මට්ටමකයි.

මීට පෙර ලබාගෙන ඇති එන්නත්වලින් සහ මේ වන විට නිපදවා ඇති එන්නත්වලින් මෙම වෛරසය සඳහා ආරක්ෂාවක් සපයන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

කෙසේවෙතත් මෙම ශීත සෘතුවේදී මෙම නව කොවිඩ් උප ප්‍රභේදයේ ව්‍යාප්තිය වැඩිවිය හැකි බව ද සෞඛ්‍ය බලධාරීන් මේ වන විටත් අනතුරු අඟවා තිබෙනවා. 

කොවිඩ් ව්‍යාප්තියට බලපාන වෛරස කාලයත් සමඟ නිරන්තරයෙන් වෙනස් වන බවත්, ඇතැම්විට නව ප්‍රභේදයක වර්ධනය එවැන්නක් හරහා සිදුවන්නට ඇති බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරනවා.

ආසාදන සහ දරුණු රෝගී තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් ව්‍යාප්ත සමයේ නිකුත් කළ මාර්ගෝපදේශ ද නව ප්‍රභේදය හඳුනාගෙන ඇති රටවලට නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.