Thursday, May 9, 2024

General line - 0115112241

ඊශ්‍රායල් ප්‍රහාරවලින් ගාසා තීරයේ 20,000 ක් මරුට




ගාසා තීරයේ හටගත් ගැටුම්වලින් පලස්තීන ජාතිකයින් 20,000 ක් මියගොස් ඇතැයි මේ වන විට වාර්තාවක් නිකුත්වී තිබෙනවා.

ඒ, ඉකුත් ඔක්තොම්බර් 07 වනදා සිට මේ දක්වා කාලය තුළ එල්ල කළ ඊශ්‍රායල් හමුදා ප්‍රහාර හේතුවෙන්. හමාස් සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මෙම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබෙනවා. 

හමාස් සංවිධානය පවසා ඇත්තේ ගැටුම් ආරම්භ වූ දින සිට සෑම දිනකම ආසන්න වශයෙන් පුද්ගලයින් 300 දෙනෙකුවත් මිය ගිය බවයි.

ඊශ්‍රායලය විසින් යුධ සමයේදී ගාසා තීරයට හෙළා ඇති බෝම්බ සංඛ්‍යාව 29,000 කට අධිකයි.

මියගිය 20,000 න් 8,000 කට වැඩි පිරිසක් ළමුන් වනවා.

තවත් 6,200 තට වැඩි පිරිසක් කාන්තාවන්.

වෛද්‍ය නිලධාරීන් 310 ක්, සිවිල් ආරක්ෂක නිලධාරීන් 35 ක් සහ මාධ්‍යවේදීන් 97 ක් ද මියගිය පිරිසට අයත්. අදාළ කාලය තුළ තුවාල ලබා ඇති සංඛ්‍යාව 52,600 ක්.

මේ වන විට නිකුත්වී ඇති මෙම සංඛ්‍යා ලෙඛන විශ්වාස කළ හැකි මට්ටමේ පවතින බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියෙකු ද පවසා ඇත්තේ.

ගාසා තීරයේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ගොඩනැගිලි සුන්බුන් යට හෝ රෝහල් වෙත ගෙන නොගිය මළ සිරුරු ඇති බවයි.

එබැවින් ගාසා තීරයේ මියගිය පිරිස තවදුරටත් වැඩිවිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගාසා තීරයේ ජීවත් වන පිරිස මිලියන 2 යි දශම 2 ක්.

ඉන් මියගිය 20,000 යනු ගාසා තීරයේ ජීවත් වන පිරිසෙන් සියයට 1 ක්.