Saturday, December 28, 2024

General line - 0115112241

පරිස්සමෙන්, මේ ජාවාරමට නම් අහුවෙන්නෙ එපා




කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය, ලාඕසය යන රටවල  තොරතුරු තාක්‍ෂණයට අදාළ රැකියා ලබාදීමට උත්සාහ කරන විදේශ රැකියා ඒජන්සි පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස බුද්ධි අංශ මෙරට තරුණ තරුණියන්ට අනතුරු අඟවා තිබෙනවා.

තොරතුරු තාක්‍ෂණයට අදාළ ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙන බව කියමින් මෙරට තරුණ තරුණියන් විශාල පිරිසක් සිරකරගෙන ඔවුන් විවිධ වධ බන්ධනයන්ට ලක්කරමින් පරිගණක අපරාධ සඳහා ඔවුන් යොදාගන්නා පාතාල කල්ලි ගණනාවක් කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය සහ ලාඕසය යන රටවල ක්‍රියාත්මක වී තිබෙන බව මෙරට බුද්ධි අංශ විසින් මේ වනවිට අනාවරණය කරගෙන ඇත. 

ඒ අනුව මෙම රටවල් 04 තුළ පාතාල කල්ලි විසින් පාලනය කරන කඳවුරුවල ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දහසකට අධික පිරිසක් විවිධ වධ බන්ධනයන්ට ලක් කරමින් ඔවුන්ගේ ශ්‍රමය බලහත්කාරයෙන් ලබාගන්නා බවයි වාර්තා වෙන්නේ. 

විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරන ආකාරයට මෙම පිරිස බලහත්කාරයෙන් රඳවා ඇත්තේ, 'මියාවෙඩ්ඩි' නම් ප්‍රදේශයකයි. 

'මියාවෙඩ්ඩි' ලෙස හදුන්වන එම පළාත මියන්මාරය හා තායිලන්තය අතරින් ගලා යන මොයිල් නදියෙන් පෝෂණය වූ ගොවි බිමක් වන අතර  මෙය අපරාධ බහුල ප්‍රදේශයක් බවට පත් වී තිබෙන්නේ මෑතකදී එහි සිදුකෙරුණු චීන ආයෝජනයත් සමග බවයි  නිව්යෝර්ක් ටයිස්ම් පුවත්පත අනාවරණය කර තිබෙන්නේ.

චීන ජාතිකයන් විසින් මෙහෙයවන, පාකිස්තාන්, බංගලාදේශ සහ ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් සංවිධානාත්මක කණ්ඩායම් විසින් මෙම කඳවුරු පාලනය කරන අතර වසර 05ක පමණ කාලයක සිට මොවුන් මෙම පරිගණක අපරාධ කරගෙන යන බවද වාර්තා වේ. 

මියන්මාර දේශසීමාවේ ත්‍රස්ත ග්‍රහණයට නතුව සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් මෙරට ජනමාධ්‍ය ආයතනයක් වෙත ලිපියක් ඒවා තිබෙනවා. 
එහි දැක්වෙන්නේ තමන්ව මුදාගැනීමට රුපියල් කෝටි 15ක මුදලක් අවශ්‍ය බවත් එම මුදල සපයාගැනීමට මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු පාර්ශව කිහිපයකින් සහාය අපේක්ෂා කරන බවයි .

තවද  අදාළ මුදල දැරීමට ශ්‍රී ලංකා රජය මෙතෙක් අපොහොසත් වීම පිළිබඳ කනගාටු වන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.  

 එවන ලද ලිපියක කොටසක් පහතින් 

උපුටා ගැනීම

''මෙතන නේපාල අය 15ක් දැනට බේරිලා ගිහින් තියෙනවා. නේපාලෙ කට්ටිය ඔක්කොම බේරිලා ගිහින් තියෙන්නෙ. එයාලා වෙනුවෙන් එක් අයෙකුට ඩොලර් 8,000ක් බැගින් එයාලගෙ රජයෙන් ගෙවලා තමයි එයාලව ගත්තෙ.

එහෙම බැලුවම අපිට සාමාන්‍යයෙන් රුපියල් කෝටි 15ක විතර මුදලක් යනවා. 

මෙතනට අපි ආවේ රැකියාවකට. 

අපි ආවේ විසිට් වීසා නිසා ගොඩක් අය හිතයි අපි වැරදියි කියලා. 

නමුත් අපි ආවේ පස්සෙ අපිට ජොබ් වීසා එකක් දෙනවා කියලා පොරොන්දුව අපිට දීලා තිබුණා. 

මට ඇග්‍රිමන්ට්  එකක් පවා පෙන්නුවා. මෙහෙට ඇවිත් අස්සන් කරපු ඇග්‍රිමන්ට් එකෙත් ඒ විස්තරේ තිබුණා. 

හැබැයි ඒ ඇග්‍රිමන්ට් එකේ නමක්,ගමක් කිසිම දෙයක් නැහැ. අනිත් හේතුව, අපි එන්නෙ මෙහෙම රස්සාවක් කියලා දැනගෙන නෙවෙයි.

 මෙතනට ආවට පස්සේ අපි මේ විදිහට හිරවෙලා දැන් ගොඩක් දුක් විඳිනවා. 

මෙතන කෙනෙක්ගෙ ජීවිතයක් නැතිවෙන්න කලින් කාටහරි පුළුවන් නම් අපිව බේරගන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. 

පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිට උදව් කරන්න. 

මේ මුදල හොයාගන්න අපිට මෙතනින් බේරෙන්න උදව් කරන්න කියලා ගොඩක් බැගෑපත්ව ඉල්ලීමක් කරනවා''

උපුටා ගැනීම අවසන් 

චීන ආයෝජකයකු ලෙස හඳුන්වන පුද්ගලයකු විසින් 2020 මාර්තු මාසයේදී නව කර්මාන්ත කලාපයක් ලෙස මෙම ස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කර තිබෙන අතර 'බ්‍රෝකන් ටූත්' යන අන්වර්ථ නාමයෙන් හදුන්වන අපරාධකරුවකු වන 'වන් කුක් කොයි' නමැත්තා විසින් එම ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති බවට වාර්තා වෙන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී සූදු, මිනිස් ජාවාරම ඇතුළු අපරාධ ගණනාවක් සදහා චෝදනා එල්ල වන 'ෆ්රෝටීන් කේ ෆ්‍රයඩ්' නමැති කණ්ඩායම මෙම පුද්ගලයා විසින් මෙහෙයවන බව සැළකේ. 

වන් කුක් කොයි නමැත්තාගේ මෙම ආයෝජනයත් සමග ඊට සමාන පරිගණක ස්ථාන රැසක් මියාවෙඩ්හි ස්ථාපිත වී ඇති බව අන්තර්ජාතික ජනමාධ්‍ය වාර්තාවල සදහන් වේ.

මෙම අපරාධ ස්ථාන සදහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ඇතුළු රැකියා විරහිත උගත් පිරිස මේ සදහා යොදාගැනීම චීන ජාතික කණ්ඩායමක් විසින් ඩුබායි කෙන්ද්‍ර කර ගනිමින් සිදුකර තිබේ. 

චීන ජාතිකයින් මේ සදහා අවශ්‍ය ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සොයා ගැනීමට තැරැව්කරුවන් ලෙස ශ්‍රී ලංකිකයන් කිහිපදෙනකු භාවිත කර ඇති බවද අනාවරණය වී ඇත. 

රැකියාව ලබාදීම සදහා ඔවුන්ගේ කොන්දේසිය වන්නේ, ඉංග්‍රීසි වචන 30ක් විනාඩියක් ඇතුලත ටයිප් කිරිමේ හැකියාවයි. 

මෙම වහල් සේවය සම්බන්ධයෙන් වාර්තාවන නවතම තත්වය වන්නේ, පසුගියදා අසාර්ථක වූ ගලවා ගැනීමේ මෙහෙයුමෙන් පසු(ආරම්භයේදී සඳහන් කළ) අවශ්‍ය නම් මුදල් ගෙවා පිටව යා හැකි බවට චීන ජාතික අපරාධකරුවන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසකට දැනුම් දී තිබීමයි. 

එක් අයකු මුදාගැනීම සදහා ඔවුන් ඉල්ලා සිටින මුදල ඇමරිකානු ඩොලර් 8000කි. 

මුදල ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 25ක් පමණ වේ.

කෙසේවෙතත් මෙම තරුණ පිරිස අදාළ චීන සමාගම සමග අත්සන් තබා ඇති ගිවිසුමේ ඇති කොන්දේසි හා ඔවුන් ඉල්ලා සිටින මුදලේ අගය පරස්පර වේ. 

ගිවිසුමේ සඳහන් වන්නේ, මාස හයකට පෙර ස්වකැමැත්තෙන් ඉවත් වන්නේ නම්, බාත් 8000ක් ගෙවිය යුතු බවයි. 

බාත් යනු, තායිලන්ත මුදල් ඒකකය වන අතර බාත් 8000ක වටිනාකම රුපියල් 75000කට සමාන වේ.

 මෙම ගිවිසුමට අනුව, දෛනිකව ලබාදෙන ඉලක්ක සම්පූර්ණ කරගැනීමට නොහැකි වුවහොත්, බාත් 500ක දඩ මුදලක්ද අයකෙරෙන බවද සදහන් වේ. 

එම දෛනික ඉලක්කය ලෙස හඳුන්වන්නේ, දිනකට පුද්ගලයන් දෙදෙනෙකුගෙන් මුදල් වංචා කිරීමයි. පස්වරු 3.30 සිට පසුදා අළුයම 4.30 දක්වා සේවා කාලය ලෙස මෙම ගිවිසුමේ දැක්වේ. 

මෙම මිනිස් ජාවාරම සිදුවන තවත් ප්‍රධාන ස්ථානයක් වන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. 

චීන ජාතික අපරාධකරුවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නගරයේ පවත්වාගෙන යන කාර්යාලයක් පිළිබඳවද අනාවරණය වී තිබේ. 

එම ගොඩනැගිල්ලේ මහල් 23ක් තුළ චීන ජාතික අපරාධකරුවන්  පරිගණක අපරාධ සිදුකිරීම සඳහා කාර්යාල පවත්වාගෙන යන බවද විමර්ශන මගින් අනාවරණය වී තිබේ. 

මේ අතර තවදුරටත් මියන්මාරය, ලාඕසය හා ඩුබායිහි පරිගණක අපරාධ කාර්යාලය සදහා ශ්‍රී ලාංකිකයින් හසුකර සිදුවෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වේ. 

ජවාරමට හසුකර ගන්නා පුද්ගලයන්ට ඒ සඳහා පණිවිඩ කිහිපයක් ඔවුන් වෙත එවන අතර එහිදී ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස යොමුකරන්නේ, කුමන ජාතිකත්වයක් දරන්නේද යන්නයි. 

මෙම පණිවිඩවලට අනුව ශ්‍රී ලාංකිකයකු බවට දැන්වූ වහාම ඔවුන් සම්මුඛ පරීක්ෂණ සඳහා එදිනම කැඳවනු ලබයි. 

මෙම සම්මුඛ පරීක්ෂණයේදී විනාඩියකට ඉංග්‍රීසි වචන තිහක් හෝ ඊට වඩා ටයිප් කළහොත් සමත් වන අතර, පරිගණක අපරාධ සඳහා ඔවුන් යොමුකරන්නේ ඉන් පසුවයි. 

සංචාරක නැතහොත් තාවකාලික වීසා බලපත්‍රවලින් විවිධ රටවලට යන ශ්‍රී ලාංකික රටේ තරුණ තරුණියන් ඉතා පහසුවෙන් මෙම අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක් වෙමින් තිබේ. 

කෙසේවෙතත් මෙතරම් තොරතුරු අනාවරණය වී තිබියදීත් තවමත් මෙරට බලධාරීන් නිසිපරිදි චීනුන් විසින් සිදුකරන මිනිස් ජාවාරම් පිළිබඳව නිසි අවධානයක් යොමුනොකිරීම සැබවින්ම කනගාටුවට කරුණකි.


චිරාන් ධර්මසේන