ගාසා යුද්ධය නිසා රතු මුහුද තුළ අර්බුධයක් පවතින අවස්ථාවක ගල්ෆ් කලාපය ද අද උණුසුම් වුණා.
ඒ, අරාබි මුහුදේ ඕමාන බොක්ක ආශ්රිත ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අතුරුදන් වීමත් සමගයි.
ග්‍රීක සමාගමකට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් එලෙස අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එම සමාගමේ ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ සන්නද්ධ කණ්ඩායමක් විසින් නෞකාවට ඇතුළු වී ඇතැයි තොරතුරු වාර්තා වී ඇති බවයි.
එම අවස්ථාවේදී නෞකාව තුළ කාර්යය මණ්ඩල සාමාජිකයින් 19 දෙනෙකු සිටි බවත් සන්නද්ධ කණ්ඩායම නෞකාවට ඇතුළුවීමෙන් අනතුරුව නෞකාවේ කාර්යය මණ්ඩලය සමගි පැවැති සියළු සබඳතා බිඳ වැටුනු බව ද එම සමාගම පවසා තිබෙනවා.
එහි වාර්තාවලට අනුව නෞකාවේ සිටි කාර්යය මණ්ඩල සාමාජිකයින් අතර පිලිපීන ජාතිකයින් 18 දෙනෙකු සහ ග්‍රීක ජාතිකයෙකු වන බව සඳහන්.
ඉන්ධන රැගත් නෞකාව ඉරානයේ බස්රා සිට තුර්කිය බලා යාත්‍රා කරමින් තිබූ බවයි පැවසෙන්නේ.
මේවනවිට පළවන වාර්තා අනුව ආයුධ සන්නද්ධ පුද්ගලයින් 05 දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් නෞකාවට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් හමුදා නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී සිට ඇති බවත් කළු පැහැ ආවරණයකින් මුව වසා සිට ඇති බවත් බ්‍රිතාන්‍ය සමුද්‍රීය ආරක්ෂණ සමාගමක් පවසා තිබෙනවා.
සන්නද්ධ පිරිස විසින් නෞකාවේ සම්බන්ධතා අක්‍රීය කරන අවස්ථාවේදී එය ඉරානය දෙසට යාත්‍රා කරමින් තිබූ බවටයි වාර්තා පළ වන්නේ.