Sunday, November 24, 2024

General line - 0115112241

මහනුවර දුම්රිය ස්ථානයේදී මගියෙකුට වූ අපහසුතාවක් ගැන නෙත් නිවුස් මැදිහත් වීමෙන් විශේෂ විමර්ශනයක්




මහනුවර දුම්රිය ස්ථානයේදී මගියෙකුට වූ අපහසුතාවයක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

නෙත් නිවුස් ඇමතූ එම මගියා කියා සිටියේ තමන් දුම්රියක් පිළිබඳ තොරතුරු විමසීමට මහනුවර දුම්රිය ස්ථානයට අවස්ථා 19 කදී ඇමතුම් ලබා ගත්ත ද ඊට කිසිදු නිලධාරියෙකු ප්‍රතිචාර නොදැක්වූ බවයි. 

එවන් පසුබිමක් තුළ එම දුම්රිය ස්ථානයට ගොස් තමන් නානු ඔයට ධාවනය වන දුම්රිය පිළිබඳ තොරතුරු විමසා පළමු පන්තියේ ආසන දෙකක් වෙන්කර ගත් අවස්ථාවේදී තමන් අපහසුතාවයට  ලක් වූ බවයි එම මගියා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

එමෙන්ම දුම්රිය ස්ථානයේ වැසිකිලියට ගිය ඔහු එහි තිබූ අඩුපාඩු සම්බන්ධයෙන් දුම්රිය ස්ථානයේ බලධාරින් දැනුවත් කර තිබෙනවා. 

එහිදී ද තමන් මහත් පීඩාවට පත් වූ බවයි ඔහු කියා සිටියේ. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී පෙරේරා මහතා සහ දුම්රිය සාමාන්‍යාධිකාරි එස් එස් මුදලිගේ මහතා දැනුවත් කළා. 

ඒ අනුව, එම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර දුම්රිය ස්ථානයෙන් කරුණු විමසූ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙසට දුම්රිය බලධාරින්ට දැනුම්දුන් බවද ඔහු කියා සිටියා. 

එම වාර්තාව තමන් වෙත ලැබීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි   එස් එස් මුදලිගේ මහතා වැඩිදුරටත් පැවසුවේ.