Wednesday, December 4, 2024

General line - 0115112241

"සැමට නිවහන” වැඩසටහන යටතේ නව නිවාස ණය 15000ක් ලබා දීම මේ මස අවසන් වීමට පෙර




"සැමට නිවහන”  වැඩසටහන යටතේ නව නිවාස ණය 15000ක් ලබා දීම මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි සභාපති රජීව් සූරියාඅරච්චි මහතා පවසන්නේ නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා මෙම නිවාස ණය ලබා දීම සිදු කරන බවයි. 

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හරහා මෙම නිවාස ණය ප්‍රතිලාභීන්ට ලබා දීම සිදු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙවර අයවැය මගින් මෙම වසරේ නිවාස සංවර්ධනය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට රුපියල් මිලියන 7650ක් වෙන් කර තිබෙනවා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා වෙන්ව ඇති මුදලින් ප්‍රථම වැඩසටහන ලෙස  "සැමට නිවහන” නිවාස ණය වැඩසටහන ආරම්භ කෙරේ.

මේ අතර පසුගිය සමයේදී විවිධ රජයන් විසින් වැඩ ආරම්භ කර අතරමඟ නතර කර දමා ඇති නිවාස 98,000 ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය පවසන්නේ ඒ සඳහා රුපියල් මිලියන 24.000ක මුදලක් අවශ්‍ය බවයි. 

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි වැඩි දුරටත් සදහන් කරේ  ඉන්දියානු රජයේ ආධාර මත දිවයින පුරා ක්‍රියාත්මක ගම්මාන 101 ක ගම්මාන 07 ක නිවාස ඉදිකිරීම් අවසන් කොට ජනතා අයිතියට පත් කර තිබෙන බවයි.

මීට අමතරව තවත් ගම්මාන 94ක නිවාස 2063 ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි ඔහු කියා සිටියේ.

මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට නිවාස 690 ක ඉදිකිරීම් අවසන් කර තිබෙන බවත්, තවත් නිවාස 337ක ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවද වැඩි දුරටත් සභාපතිවරයා සදහන් කළේය.