Monday, April 29, 2024

General line - 0115112241

ක්‍රිකට්වලට දේශපාලනය ඈදාගත් ඉන්දියාවට එංගලන්තයෙන් දැඩි විරෝධයක්




ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනය ඈදා ගැනීම සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන්දියාවට සිය විරෝධය පළ කර තිබෙනවා.

ඊට හේතු වූයේ එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් බෂීර්ට ඉන්දියාව විසින් වීසා බලපත්‍ර ලබාදීම ප්‍රමාද කිරීමේ සිද්ධියක්. 

ෂොයිබ් බෂීර් පාකිස්තාන සම්භවයක් ඇති පුද්ගලයෙකු වන බැවින් ඉන්දු - පාකිස්තාන අර්බුදය මුල් කරගනිමින් මෙලෙස වීසා ලබාදී නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

තවමත් විසි හැවිරිදි වියේ පසුවන ෂොයිබ් බෂීර්ගේ මංගල ටෙස්ට් තරඟාවලිය මෙය වෙනවා.

ඉන්දු - එංගලන්ත ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වන අතර ඔහු අද දිනයේ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමටයි නියමිතව සිටියේ.

නමුත් ඔහුට නිසි දිනයේ වීසා නොලැබීම හේතුවෙන් ෂොයිබ් බෂීර්ගේ මංගල ක්‍රිකට් සිහිනය බොඳවී යනවා. 

ඔහුට අත්වූ ඉරණම සම්බන්ධයෙන් එංගලන්තයේ සුපිරි ක්‍රීඩක, වත්මන් නායක බෙන් ස්ටොක් ප්‍රසිද්ධියේ සිය විරෝධය පළ කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ ෂොයිබ් බෂීර්ට වීසා ලබානොදීම හේතුවෙන් ඉන්දියාවට පැමිණීම පවා වර්ජනය කිරීමේ අදහසක කණ්ඩායම සිටි බවයි.

ෂොයිබ් බෂීර්ට වීසා ලැබෙන තෙක් ඉන්දියාව සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්දයෙන් ද සාකච්ඡාවක් ද පැවති බවයි ඔහු පවසා ඇත්තේ.

තම කණ්ඩායමේ ක්‍රීඩකයාට සිදුවූ අපහසුතාව සම්බන්දයෙන් තමා කළකිරීමෙන් සිටි බවද එංගලන්ත නායකයා පවසනවා.

මීට නොබෝ වෙලාවකට පෙර නිකුත්වූ ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ එල්ලවූ දැඩි විරෝධය හමුවේ ෂොයිබ් බෂීර්ට ඉන්දියාව විසින් මේ වන විට වීසා ලබාදී ඇති බවයි.

ඒ අනුව ෂොයිබ් බෂීර් මෙම සති අන්තයේදී එංගලන්ත කණ්ඩායම සමඟ එක්වනු ඇති. 

මීට පෙර 2019 දී එංගලන්තයේ ශකීබ් මහමුද් සහ මොයින් අලී යන ක්‍රීඩකයින් ද ඉන්දියාව විසින් වීසා ලබාදීම ප්‍රමාද කිරීමත් සමඟ ඔවුන් දුෂ්කරතා රැසකට මුහුණපෑවා.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක උස්මාන් කවාජා ද ඊට ඇතුලත්. එංගලන්ත ක්‍රිකට් බලධාරීන් පවසා ඇත්තේ තම කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුටම එක ලෙස සැලකීමට ඉන්දියාව කටයුතු කළ යුතු බවයි.