Friday, May 3, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථාන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ලකුණු 241ක් ඉදිරියෙන්




ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ කඩුලු 09ක් දැවී ලකුණු 439ක් රැස් කර ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථාන් පළමු ඉනිමට වඩා ලකුණු 241ක් ඉදිරියෙන් පසුවනවා.

අද දිනයේ පන්දුවට පහර දීමට පිටියට පැමිණි චාමික ගුණසේකර පන්දුවට පහර දෙමින් සිටියදී පන්දුවක් ඔහුගේ ආරක්ෂිත හිස්වැසුමේ වැදීම හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 141ක් ලබා ගත් අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 107ක් ලබා ගත්තා. දිමුත් කරුණාරත්න ලකුණු 77යි.

ඇෆ්ගනිස්ථාන් කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 198ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 03ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 04ක් බිඳහෙළුවා.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 35ක් ලබා ගෙන සිටියා.