Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් ජයක්




ඉතිහාසයේ පළමුවරට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඓතිහාසික ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 198ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 439ක්.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 141 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 107ක් රැස් කිරීමට සමත් වුණා. 

තරඟයේ දෙවනි ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 296ක් පමණයි.

ඒ අනුව තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 56ක ඉලක්කයක් හිමි වුණා.

ඒ අනුව පන්දු වාර 07යි පන්දු 02ක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 56ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ජය ගනු ලැබුවා.

දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුෂ්ක නොදැවී පිළිවෙළින් ලකුණු 32ක් සහ 22ක් රැස් කළා.

පළමු ඉනිමේදී ලකුණු 67කට කඩුලු 03ක් සහ දෙවෙනි ඉනිමේදී ලකුණු 107කට කඩුලු 05ක් බිඳ හෙලූ ප්‍රභාත් ජයසූරිය තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය මෙය වන අතර එය පැවැත්වුණේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදීයි. 

දෙරට අතර එක් දින තරඟ 03ක් සහ විස්සයි විස්ස තරඟ 03ක් පැවැත්වීමට නියමිතයි.

පළමු එක් දින ක්‍රිකට් තරඟය ලබන 09වනදා පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.