Monday, April 29, 2024

General line - 0115112241

එක්දින ක්‍රිකට් පිටියේදී ඉතිහාසයේ පළමුවරට ශ්‍රි ලංකා ක්‍රීඩකයෙකුගෙන් ද්විත්ව ශතකයක්




ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය මේවනවිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රි ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පැමිණි ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 03 ක් පමණක් දැවී ලකුණු 381 ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු පළ්මු කඩුල්ල සඳහා ලකුණු 182 ක සබඳතාවක් පැවැත්වුවා. 

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88 ක් ලබා සිටියදී දැවි ගිය අතර නායක කුසල් මෙන්ඩිස් ලකුණු 16 කට දැවී ගියා.

ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පැමිණි පැතුම් නිස්සංක නොදැවී හතරේ පහර 20 ක් සහ හයේ පහර 08 ක් සමගින් ලකුණු 210 ක් රැස් කළා.

එය ඉතිහාසයට එක්වන්නේ ශ්‍රී ලාංකික ක්‍රිකට් වංශ කතාවේ එක්දින තරගයකදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මිට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය ඉන්දිය කණ්ඩායමට එරෙහිව 2000 වසරේදී ලකුණු 189 ක් රැස් කර තිබෙන අතර පැතුම් නිස්සංක අද දිනයේ ලබාගත් ලකුණු 210 ඉතිහාසයට එක්වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එක්දින පිටියේදී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මේවනවිට ලකුණු 382 ක ඉලක්කයක් හඹා යන ඇෆ්ගනිස්තාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් පන්දුවාරයක් අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 05 ක් ලබාගෙන සිටියා.