Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ජය ගත් ඇෆ්ගන් තරඟයේදී එක්දින ලෝක වාර්තාවක්




ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 42ක ජයක් වාර්තා කළා.

ඒ, වාර්තා පිට වාර්තා තබමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 03කට ලකුණු 381යි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක, නොදැවී ලකුණු 210ක් රැස් කළා.

ඔහුගේ ඉනිම වාර්තා රැසක්ද බිහි කළා.

පැතුම් රැස්කළ මෙම ලකුණු 210 ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින පිටියේ රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යවයි.

එමෙන්ම එක්දින පිටියේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ පළමු ද්විත්ව ශතකයද මෙයයි.

එමෙන්ම පැතුම් මෙම ඉනිමේදී හතරේ පහර හා හයේ පහරවලින් පමණක් 128ක් රැස් කර තිබුණා.

එය සැලකුණේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු හතරේ පහර හා හයේ පහරවලින් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එමෙන්ම පැතුම් නිස්සංක රැස් කළ මෙම ද්විත්ව ශතකය සැලකුණේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු ශ්‍රී ලංකාව තුළදි රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

පැතුම් මෙම ද්විත්ව ශතකය රැස් කළේ පන්දු 136කින්.

එය සැලකුණේ එක්දින ජාත්‍යන්තර පිටියේ කිසියම් පිතිකරුවෙකු වාර්තා කළ තුන්වන වේගවත්ම ද්විත්ව ශතකය ලෙසයි.

එමෙන්ම එක්දින ජාත්‍යන්තර පිටියේ ද්විත්ව ශතකයක් රැස්කළ තුන්වන ලාබාලතම පිතිකරුවා වූයේද පැතුම් නිස්සංකයි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයද ශ්‍රී ලංකාව නොසිතූ අභියෝගයක් වෙමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වුණා.

කෙසේ වෙතත් ඔවුන්ට පන්දුවාර 50 අවසානයේ රැස් කරගත හැකිවූයේ ලකුණු 339ක් පමණයි.

ලකුණු 55කට කඩුලු 5ක් බිද වැටී ජයග්‍රහණයක් නොපෙනෙන මානයේ සිටි ඇෆ්ගනිස්ථානයට යළි ජීවයක් දෙමින් 6 වන කඩුල්ල සදහා මොහොමඩ් නබී හා අස්මතුල්ලා ඔමාර් සායි ලකුණු 284ක වාර්තාගත සබඳතාවක් ගොඩනැගුවා.

එය සැලකුණේ එක්දින තරඟයක පළමු කඩුලු 05 බිද වැටීමෙන් පසු කිසියම් පිතිකරුවන් දෙදෙනෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. 

එමෙන්ම 6 වන කඩුල්ලෙන් පහල බිහිවූ දෙවන හොදම සබදතාවයද මෙය වුණා.

මෙම ලකුණු 284ක සබදතාව ඉතිහාස ගත වුණේ පරාජිත කණ්ඩාමක් වෙනුවෙන් එක්දින පිටියේ කිසියම් පිතිකරුවන් දෙදෙනෙකු රැස්කල ඉහලම ලකුණු සබදතාව ලෙසයි.

මෙහිදී මොහොමඩ් නබී ලකුණු 136ක් හා අස්මතුල්ලා ඔමාර් සායි නොදැවී ලකුණු 149ක් රැස් කලා.

මෙහිදී නබී වාර්තා පොතට එක්වුණේ එක්දින පිටියේ ශතකයක් රැස්කල 06 වන වයස්ගතම පිතිකරුවා ලෙසයි.

මේ වන විට ඔහුගේ වයස අවුරුදු 39ක්.

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන දෙවන එක්දින තරගය හෙට පැවැත්වීමට නියමිතයි.