Monday, April 29, 2024

General line - 0115112241

පකිස්තාන මහ මැතිවරණයේ ප්‍රතිපල තවදුරටත් ප්‍රමාදයි




පෙබරවාරි මස 08 වනදා පැවැති පකිස්තාන මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපල නිකුත් කිරීමට එරට මැතිවරණ කොමිසම තවදුරටත් අපොහොසත් වි තිබෙනවා.

මැතිවරණය පවත්වා දින 03 ක කාලයක් ගතව ඇති නමුත් තවමත් මැතිවරණ ආසන 22 ක ප්‍රතිපල ප්‍රකාශයට පත් කිරීමට නියමිත ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පකිස්තානය මේ මොහොතේ සිටින්නේ දේශපාලනික වශයෙන් ද අස්ථාවර තත්ත්වයකයි. 

මහ මැතිවරණයක් පවත්වා එහි ප්‍රතිපල නිකුත් කිරීම ද ප්‍රමාද වූ පසුබිමක් තුළ එම අර්බුද තවදුරටත් තීව්‍ර වන බවයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් දැනට ප්‍රකාශිත ප්‍රතිපල අනුව ඉදිරියෙන් පසුවන්නේ මේවනවිට සිර දඬුවම් විඳිමින් සිටින එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයේ අපේක්ෂකයින්.

ඔවුන් ස්වාධීන කණ්ඩායමක් ලෙස මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අතර ජාතික සභාවේ ආසන 99 ක් ඔවුන් මේවනවිට දිනා ගෙන සිටිනවා.

අනතුරුව ඉදිරියෙන් සිටින්නේ ආසන 69 ක් හිමිකර ගෙන සිටින පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරුන් දෙදෙනෙකු වන නවාස් ශරීෆ් සහ ෂෙබාස් ශරීෆ් නියෝජනය කරන මුස්ලිම් ලීගයයි.

ඔවුන් හිටපු අග්‍රාමාත්‍ය බෙන්සීර් බූතෝගේ පුත් බිලාවල් බූතෝගේ පකිස්තාන මහජන පක්ෂය 03 වන ස්ථානයේ පසුවනවා.

එම පක්ෂය හිමිකර ගෙන ඇති ආසන සංඛ්‍යාව 51 ක්.

කෙසේවෙතත් සිය පක්ෂයට තනිව රජයක් පිහිටුවිය නොහැකි බව බිලාවල් බූතෝ මේවනවිටත් පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් සන්ධාන ගත වීමක් සම්බන්ධයෙන් සිය පක්ෂය මෙතෙක් කිසිඳු කණ්ඩායමක් සමග සාකච්ඡා කර නොමැති බව ද ඔහු ප්‍රකාශ කළා.

විශේෂයෙන් ඉම්රාන් ඛාන්ගේ ස්වාධීන කණ්ඩායම හෝ නවාස් ශරිෆ්ගේ මුස්ලිම් ලිගය සමග එවැනි කිසිඳු නිල සාකච්ඡාවක් නොපැවැත්වූ බවයි බිලාවල් බූතෝ පවසා ඇත්තේ.

කෙසේවෙතත් සන්ධානග ගත වීමක් සම්බන්ධයෙන් ඔහුගේ පක්ෂය හා පකිස්තාන මුස්ලිම් ලීගය අතර යම් සාකච්ඡාවක් පවත්වා ඇති බව ඇතැම් විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා.