Monday, April 29, 2024

General line - 0115112241

ඊශ්‍රායල හමුදාව ගාසාහි තවත් රෝහලක් අල්ලයි - පාර්ශව රැසක විරෝධය




ගාසාහි ඛාන් යූනිස් නගරයේ නසාර් රෝහල ඊශ්‍රායල හමුදාව විසින් අත්පත් කර ගෙන තිබෙනවා.

ගාසා තීරයේ දකුණු ප්‍රදේශය ආක්‍රමණය කරමින් සිටින ඊශ්‍රායල හමුදාව ඊයේ එම රෝහලට ඇතුළු වුණා.

ඔවුන් පවසන්නේ හමාස් සංවිධානය විසින් එම රෝහල තුළ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගෙන සිටින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි. එබැවින් රෝහල වට කර ඊට ඇතුළු වුන බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

අනතුරුව එම ප්‍රාණ ඇපකරුවන් සොයා සීමිත මෙහෙයුමක් දියත් කල බවයි හමුදාව පැවසුවේ.

එහිදී රෝහල තුළ සිටි කාර්යය මණ්ඩලය සහ රෝගීන් වෙඩි ප්‍රහාරවලින් වළක්වා මුදා හැරි බව ද ඊශ්‍රායල හමුදාව පවසා තිබෙනවා.

ඒ හේතුවෙන් රෝහල තුළ සිටි හමාස් සටන්කාමීන් බවට සැකකෙරෙන සැකකරුවන් පිරිසක් ද සිය භාරයට ගත් බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර තිබෙනවා.

කෙසේවෙතත් හමාස් සංවිධානය පවසන්නේ රෝහල තුළ ප්‍රාණ ඇපකරුවන් රඳවා සිටින බවට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

ඊශ්‍රායල හමුදාව කඩා වැදීම හමුවේ රෝහල තුළ තත්ත්වය ව්‍යවසනකාරී සහ භයානක බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසනවා.

එමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව ද රෝහලට කඩා වැදීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇගවීම් හා විරෝධය පල කර තිබෙනවා.