Saturday, July 27, 2024

General line - 0115112241

රෝගීන් මියයාම සහ සංකූලතා නිසා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය වසා දැමේ




කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට ඇතුළත් කළ ඇතැම් රෝගීන්ගේ යම්කිසි සංකූලතා කිහිපයක් සහ ජනවාරි මස සිට මේ දක්වා මරණ කිහිපයක් වාර්තාවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් තිබෙනවා.

ඒ, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල විසින්.

අට දෙනෙකුගෙන් යුතු එම කමිටුවේ සභාපතිත්වයට පත් කර  ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිණිගේ පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස වෛරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙක්, රුධිර අංශයේ වෛද්‍යවරියක් ඇතුලු විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙකු ඇතුළත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අනුව එම කමිටු සාමාජිකයන් මේ වනවිටත් කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ අදාල විශේෂඥ වෛද්‍යවරු සමග සාකච්ඡා සිදු කරන බවයි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවසුවේ.

විද්වත් කමිටුව විසින් අදාළ සිද්ධිය පිළිබද වාර්තාවක් ලබාදීමෙන් අනතුරුව කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බවද සෞඛ්‍ය ලේකම්වරයා කියාසිටියා.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලද  එම රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

එහිදී සෞඛ්‍ය ලේකම්වරයා පැවසුවේ පවතින තත්ත්වය හමුවේ “කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටවූ බවයි.
 

“කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුබද්ධිත රුධිර කාන්දුකරණ ඒකකයට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 130 ත් 135 ත් අතර වනවා.

ඒ අනුව එම රෝගීන්ට දැනට අවශ්‍ය වකුගඩු රුධිර කාන්දුකරණ කටයුතු සදහා  කුලියාපිටිය, දඹදෙනිය, පොල්පිතිගම සහ නිකවැරටිය රෝහල් වෙත යොමු කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා.