Saturday, July 27, 2024

General line - 0115112241

පාසල් ළමුන් ලක්ෂයකට සහනයක්




පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දිරියක් ලබා දීමේ අරමුණින් පාසල් ළමුන්ට ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එය ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනක් ලෙස 2024 සහ 2025 වර්ෂ තුළදී ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ගත් තීරණයක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඒ අනුව මෙරට සමස්ත පාසල් 10,126ම ආවරණය කරමින් 01 ශ්‍රේණියේ සිට 11වන ශේ්්‍රණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් වෙනුවෙන් වාර්ෂිකව මෙම ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර මෙම වැඩසටහන සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3,600ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

වර්තමානයේ රට තුළ පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ අඩු සහ මධ්‍යම ආදායම්ලාභී පවුල්වල දරුවන් මුහුණ දෙන පාසල් උපකරණ සහ අභ්‍යාස පොත් සපයා ගැනීම මෙන්ම ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම වැනි කටයුතුවල දුෂ්කරතාවන් සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.

ඒ අනුව ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සහ මීට අදාළ සියලුම තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ඉදිරි දින කීපය තුළදී දැනුම්දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.