Friday, October 18, 2024

General line - 0115112241

වැල්ලේ සාරංගගේ ඥාතියාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට




රාගම, ඇලපිටිවල ප්‍රදේශයේ වෙළදසැළක් තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරු මත සිදු කළ වැටලීමකදීයි.

එම වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය ප්‍රවාහනය කිරීමට අදාළව අත්අඩංගුවට ගත් වයස අවුරුදු 37ක් වන සැකකාරිය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

එම සැකකාරිය රඳවා තබා ගැනීම සහ සැඟවීම යන චෝදනාව යටතේ අනෙක් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්නපුර, දෙල්වල ප්‍රදේශයේදී නිවසක සිදු කළ වැටලීමකදී  සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

එම සැකකාරියන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා මහභාගේ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

විදෙස් රටකට පළාගොස් සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංගගේ ඥාතියෙකු පසුගිය 21වනදා එලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබුණා.

විදෙස් රටකට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි නිපුනගේ මෙහෙයවීම මත, එම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.