Monday, April 29, 2024

General line - 0115112241

CIDයට එන බව මෛත්‍රී තහවුරු කරයි




තමන් අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ හිටපු ජනාධිපතිවරයා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවට තහවුරු කර ඇති බවයි.

තමන්ට ප්‍රකාශයක් සිදු කරන ලෙස අධිකරණය නියෝගයක් ලබා දෙන්නේ නම් පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න ප්‍රකාශ කිරීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා මහනුවර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ සිය ප්‍රකාශය රහසිගතව තබා ගැනීම විනිසුරුවරුන්ගේද වගකීමක් බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව රැසක් විවිධ අදහස් පළ කළා. 

මෙම ප්‍රකාශයට අදාළව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක්ද ගොනු කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි. 

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නියෝග කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.

පොලිස්පතිවරයා විසින් එම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබුවා.  

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වැඩිදුරටත් පැවසුවා.