Monday, April 29, 2024

General line - 0115112241

නවගමුව සහ නාරම්මල අදත් වෙඩි පත්තු වෙයි - අයෙක් මරුට




නවගමුවේ කොරතොට කඩුවෙල ප්‍රදේශයේ නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස වෙඩි තබා පලාගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් අදාළ නිවසේ දොර ජනෙල්වලට හානි සිදුවී ඇති අතර කිසිදු ජීවිත හානියක් වාර්තාවී නැහැ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පැවසුවා.

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ පාතාල සාමාජිකයෙකුගේ නිවසකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. එහෙත් පොලිසිය එම වාර්තා තහවුරු කළේ නැහැ. 

මේ අතර නාරම්මල ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ මුදල් කොල්ලයක් සඳහා පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් අයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි.

මංකොල්ලකරුවන් පිරිස ඇපල් වර්ගයේ ජංගම දුරකථන අලෙවිකරණ බවට පුවත්පත් දැන්වීම් පළ කර එලෙස ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් කොල්ලකෑමට උත්සාහ දරා තිබෙනවා.

එලෙස ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා රුවන්වැල්ල ප්‍රදේශයට පැමිණි පිරිසකට ඇති වූ සැකය මත ඔවුන් ඒ පිළිබඳ පොලීසියට දන්වා ඇතැයි සඳහන්.

පසුව නාරම්මල ප්‍රදේශයේදී කොල්ලකරුවන් පිරිස එලෙස පැමිණි පුද්ගලයින්ගේ මෝටර් රථයට තියුණු ආයුධවලින් පහරදී තිබෙනවා. 

එහිදී පොලිස් නිලධාරීන් සමගද ඇති වූ පොරබැඳීමක් අතරතුර පොලිස් නිලධාරීන් කොල්ලකරුවන් පිරිසට වෙඩි තබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී කොල්ලකරුවන් දෙදෙනෙකු පළා ගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අනෙක් කොල්ලකරු රෝහල්ගත කිරීමේදී මිය ගිය බව පොලිසිය සඳහන් කළා.

කොල්ලකරුවන් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණි දෙදෙනෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.